russian-army-sri-lankan

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබවූ මෙරට විශ්‍රාමික හමුදා ප්‍රධානියකු සම්බන්ධයෙන් අපරාධ

පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම ජාවාරම් විමර්ශන අංශය කළ විමර්ශන වල දී එම ආරක්ෂක අංශ ප්‍රධානියා සම්බන්ධයෙන් තොරතුරු හෙළි වූ බව එහි උසස් නිලධාරියෙක් පැවැසීය.


මෙම හිටපු හමුදා ප්‍රධානියා අවස්ථා කිහිපයකදීම රුසියාවට ගොස් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවත්,

රුසියාවට යවන මෙරට හමුදා සෙබළකු වෙනුවෙන් මෙම හමුදා ප්‍රධානියාට රුපියල් ලක්ෂ 25 ක මුදලක් ගෙවා ඇතැයි තොරතුරු ලැබී ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය. මෙම ආරක්ෂක ප්‍රධානියා සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු විමර්ශනය කර ඉදිරියේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව ද එම නිලධාරියා කීය.


මෙරට ප්‍රධාන පෙළේ ආරක්ෂක සමාගමක නමින් රුසියාවේ යුද හමුදා කඳවුරක් පැවැත්වෙන බවත් මෙරටින් යැවෙන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් එම කඳවුරට රැගෙන ගොස් එහිදී සති තුනක පමණ පුහුණුවක් ලබා දී යුද්ධයට අවශ්‍ය නිල ඇඳුම් ගිනි අවි ලබා දී ඇති බවත් හෙළිවී ඇත.




මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික ආරක්ෂක සමාගම සහ රුසියාවේ සමාගමක් නමින් පවත්වාගෙන යන හමුදා කඳවුර අතර සම්බන්ධයක් ඇති බවට තොරතුරු හෙළිව ඇතැයි පවසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග රුසියානු යුද්ධයට කුලී හේවායන් යැවීමේ ජාවාරම හෙළිවීමත් සමග එම ජාවාරම විමර්ශනය කිරීම සඳහා යැයි පවසමින් චෝදනා ලත් හිටපු හමුදා ප්‍රධානියා තවත් පිරිසක් ද සමග පසුගිය කාලයේදී රුසියාව බලා පිටත්ව ගොස් සිටි බව ද සඳහන් කරයි.


ඉහළ පෙළේ දේශපාලන සම්බන්ධකම් ඇති මෙම හිටපු හමුදා ප්‍රධානියාට ඇති බිය නිසා රුසියානු යුද්ධයේ බොහෝ බොහෝ සෙබළුන් තොරතුරු දීමට බියෙන් පසු වූ බවත් රටේ වත්මන් වාතාවරණය සැලකිල්ලට ගෙන මෙම ආරක්ෂක අංශ ප්‍රධානියා සම්බන්ධයෙන් සහ ඔහුගේ ජාවාරම ගැන තොරතුරු සියල්ල දැනුම් දී ඇති බවත් වැඩිදුරටත් පැවැසීය.

ඉන්දිකා රාමනායක