ruwan-weli-seya-abuse

සංචාරක චාරිකාවක නිරත වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ රුවන්වැලි සෑය වන්දනාවෙහි යෙදුණු ඉතාලි ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බවට චෝදනා ලැබූ හිමිනමක සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අනුරාධපුර ප්‍රධාන පොලිස් ස්ථානය වාර්තා කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රධාන පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ සංචාරක චාරිකාවක නියැළෙමින් සිටි ඉතාලි ජාතික තරුණ කාන්තාවකි.


පැමිණිලිකාරිය ඊයේ රුවන්වැලි සෑ මළුවේ සැරිසරමින් සිටියදී, එම ස්ථානයට පැමිණි මෙම හිමි නම ඇය සමඟ මිත්‍රශීලීව සංවාදයක යෙදී ඇයගේ වට්ස්ඇප් දුරකථන අංකය ලබාගෙන පිටව ගොස් ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
ඉන් විනාඩි පහකට පමණ පසු දුරකථන ඇමතුමක් ලබාගෙන හමුවීමට අවශ්‍ය බව පවසා ඇති අතර, ඒ සම්බන්ධයෙන් විදේශීය කාන්තාවගේ අනුමැතිය විමසමින් කිහිප වරක් දුරකථන ඇමතුම් ලබා දී ඇති බවද පැමිණිල්ලේ දැක්වේ.


අනතුරුව, පැමිණිලිකාරිය අනුරාධපුර නගරයේ පිහිටි හෝටලයක් වෙත පයින් ගමන් කරමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි හිමි නම ඇයට රථයට නගින ලෙස දිගින් දිගටම බල කර ඇත.
ඇය එය ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා මෝටර් රථයෙන් බැස රථයට නඟින ලෙස ඇයට තර්ජනය කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.
එම විදේශීය කාන්තාව විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, අනුරාධපුර පූජා නගරය ආසන්නයේ පිහිටි විහාරස්ථානයක වාසය කරන එම හිමි නම සහ පැමිණිලිකාරිය පොලිස් ස්ථානයට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
අනතුරුව අපරාධ බලහත්කාරයක් සිදුව ඇති බවට නිරීක්ෂණය වීමෙන් දෙපාර්ශවයම සමථ මණ්ඩලයට යොමු කර ඇති බව පොලීසිය ප්‍රකාශ කර සිටියේය.