sajith-political

රටේ මේ තරම් ගැටලු තිබියදී රනිල් සහ අනුර බලය ගන්න ගිවිසුම් ගතව දේශපාලන දීගයක නිරත වී ඇතැයි සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගාල්ල බද්දේගමදී පැවසීය.

මෙය කාලයක් පුරා පැමිණි සම්බන්ධතාවක් බවත් මේ අය ඩීල් දාන්නේ ලක්ෂ 220 ජනතාව නිසා නොව ඔවුන්ට වැජඹීමට බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

දුෂණය පිටුදකිනවා කියන අනුර යහපාලන සමයේ දූෂණය පිටුදැකීමේ කමිටුවේ සභාපතිවරයා ලෙස සිටියදී කළ දෙයක් නොමැති බවත් රාජපක්ෂවරු රට බංකොලොත් කළා කියා තීන්දුව ගත්තේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා කීවේය’



ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 46 වැනි විජයග්‍රාහී ජන රැළිය ගාල්ල බද්දේගම මහජන ක්‍රීඩාංගනයේදී අමතමින් සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

මේ වන විට රෝහල්වල සැත්කම් පෝලිම් බවත් හෘද සැත්කම් පෝලිම වසර ගණනාවක් දිගු බවත් නිදහස් සෞඛ්‍ය තුළින් මේවාට කාර්යක්ෂම විසදුම් දිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

සමගි ජන බලවේග රජයක් යටතේ නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කර රෝහල් පද්ධතිය ශක්තිමත් කරන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

තමන් පරිදින බව පිළිගෙන ඇති වත්මන් ජනාධිපතිවරයාගේ  කැමැත්ත අනුර දිනවීම බවත් මේ දේශපාලන ජෝඩුව වෙනුවෙන් ජන්දය ලබා නොදෙන ලෙසත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රට බංකොලොත්භාවයෙන් ගොඩ එන්න ආර්ථික කුඩා කිරීම නිසා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා 26000 වැසී ලක්ෂ ගණනින් විරැකියා වර්ධනය වී ජීවනෝපාය අහිමි වී ඇති බවත් ප්‍රේමදාස මහතා කීවේය.



ව්‍යවසායකයන්ට මුල් තැන ලබා දී රජයේ මැදිහත්වීම වර්ධනය කර ආර්ථික විශාල කළ යුතු බවත් ඒ සදහා යොවුන් පරපුර වෙනුවෙන් නව ව්‍යවසායකයන් මිලියනයක් බිහි කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ දුප්පත්කම දශලක්ෂ ගණනින් වැඩි වි ඇති මොහොතක අනුරටවත් රනිල්ටවත් දුප්පත්කම තුරන් කිරීමේ ස්ථිර වැඩපිළිවෙළක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

දුුප්පතුන් සදාකාලික සහනාධාර අපේක්ෂා නොකරන බවත් ඔවුන් දුප්පත්කමින් මිදිමට කැමති බවත් ඒ සදහා සමගි ජන බලවේගය දුප්පත්කම තුරන් කිරීමට වසර 2ක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කුඩා තේවතු ක්ෂේත්‍රයේ ජීවිකාව කරන ජනතාව තේ වගා කරන ඉඩම්වලින් 40%ක් අයිතිය තිබුනත් ඔවුන් සමස්ත ජාතික තේ නිෂ්පාදනයට 70% දායකත්වයක් ලබා දෙන බවත් ඔහු සඳහන් කළේය.



ඔවුන්ට ශක්තිය ලබා දි කිලෝ 50 පොහොර මිටිය රු 5000ට ලබා දෙන බවත් නැවත වගාවට අවශ්‍ය රාජ්‍ය මැදිහත්වීම ද ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ස්ථාවර තේ මිලකට රජය මැදිහත් නොවුවත් තේ කර්මාන්තය ශක්තිමත් කරන්න විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරන බවත් තේ කර්මාන්තයේ ඉතිහාසයේ ස්වර්ණමය යුගය බිහි කරන විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුනාතිලක, බන්දුලාල් බණ්ඩාරිගොඩ, චන්දිම වීරක්කොඩි, විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුලු පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.