රටේ ජනතාව ශක්තිමත් කරමින් ජනතා කේන්ද්‍රීය රජයක් පිහිටුවා නියත වශයෙන්ම ජනතාවට යුතුකම් ඉටු කරනවා යැයි සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාවතගම දී පැවසීය. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය සංවිධානය කරන ජන රැළි මාලාවේ තවත් ජන රැළියක් පෙරේදා (09) මාවතගම දී පැවැත්විණි. එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කියා සිටියේය.
අපේ රටේ පෝසතුන් කිහිපදෙනෙකු හැරුණු කොට රටේ බහුතරයක් ජනතාව අන්ත අසරණ භාවයට පත් වෙලා, ජනජීවිත විනාශ වෙලා, ආර්ථිකය කුඩා වෙලා, දුප්පත්කම වර්ධනය වෙලා,
විරැකියාව වර්ධනය වෙලා, අසීමිත වේදනාවකට රටේ ජනතාව පත් වෙලා සිටිනවා. නියත වශයෙන්ම අපි ලබන පොදුජන වරම තුළ අපි ඔබව රැක ගන්නවා. වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්නවා. ඔබට ශක්තිමත් කරනවා. ජනතා කේන්ද්‍රීය රජයක් තුළ අපි ජනතාවට යුතුකම් ඉටු කරනවා.
අද ප්‍රතිවාදීන් දෙපළක් සිටිනවා. ඔවුන් රටට පෙන්වනවා පක්ෂ දෙකක කියලා. නමුත් ඔවුන් අනියම් ආකාරයෙන් එකට කටයුතු කරනවා. අනුර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ අතර රහස් ගනුදෙනුවක් ක්‍රියාත්මක වෙනවා. ඔවුන් උත්සාහ කරනවා සජිත් ප්‍රේමදාසව පරාජය කරන්න. සජිත් ප්‍රේමදාසට රටේ වගකීම ලැබුණොත් රටේ තිබෙන ප්‍රශ්න ක්‍රමක්‍රමයෙන් විසඳෙනවා. සජිත් ප්‍රේමදාසට රටේ වගකීම ලැබුණොත් ජනතාවගේ දුක කඳුල වේදනාව මත ජයග්‍රහණය ලබපු කණ්ඩායම්වලට දේශපාලනය කිරීමට තිබෙන හැකියාව අඩු වෙනවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ සහ අනුර දිසානායක අතර තිබුණ රහස් ගනුදෙනුව රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කටින් එළියට ආවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියනවා ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස පරදිනවා අනුර දිසානායක දිනනවා කියලා. අනුර දිසානායක උතුරේ ජනතාව කියනවා දකුණේ ජනතාව මාව දිනවනවා ඒ නිසා උතුරේ ජනතාව අනිවාර්යෙන්ම ඔහුට ඡන්දය දෙන්න කියලා. මුළු රටම අද එකතු වෙලා සිටින්නේ පොඩි මිනිසා රකින යුගයක් බිහි කරන්න. ඒ යුගය බිහි කරන්න අපි අනිවාර්යෙන්ම කැප වෙනවා. රටේ ග්‍රාමිය ජනතාවට, නාගරික ජනතාවට නිවාස හදන ගම්උදා ක්‍රමය අපි ඇතිකරනවා. ඒ වගේම ජනතාවට නිවසක ඉඩමක අයිතිය අපි අනිවාර්යෙන් ලබාදෙනවා. එවිට ජනතාවගේ ප්‍රශ්න ක්‍රමයෙන් අවම වෙනවා.
මාවතගම තිබෙන කර්මාන්ත වැඩි දියුණු කරලා තවත් විදේශීය ආයෝජන හරහා කර්මාන්තශාලා ස්ථාපනය කරන්න අපි කටයුතු කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන සියල්ලටම නිෂ්පාදන කර්මාන්තශාලා 14 ක් ඇති කරන්න කටයුතු කරනවා. දෙවැනි වටයට කුරුණෑගල තිබෙන ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ 30 ට නිෂ්පාදන කර්මාන්තශාලා ආරම්භ කරලා විරැකියාවෙන් පෙළෙන තරුණ ප්‍රජාවට රැකියා අවස්ථා ලබාදෙන්න කටයුතු කරනවා.
ඒ අනුව ගොවි ජනතාවට ගුණාත්මකභාවයෙන් ඉහළ පොහොර මිටිය රුපියල් 5000 කට ලබාදීමට කටයුතු කරනවා. වගා ණය කපා හරින්න කටයුතු කරනවා. ඇතැම් පිරිස් අහනවා මේ කරන්න පුලුවන් දේවල් කියලා. කිසිම ඇපයක් නැතිව රාජ්‍ය බැංකුවලින් කෝටි ගණන් මුදල් ගත්ත කෝටිපතියන්ගේ පොලිය ණය කපා හරින්න ආණ්ඩුවට පුලුවන් නම් ඇයි අහිසංක ගොවීන්ගේ ගොවි ණය කපා හරින්න බැරි. අපි ඒ දෙය කරලා පෙන්වනවා.
ඒ නිසා මේ වනවිට දුප්පත්භාවය තුරන් කිරීමේ තිරසර වැඩසටහනක් රට තුළ ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා ජනසවියේ, සමෘද්ධියේ, අස්වැසුමේ හොඳ ගුණාංග එකතු කරලා අඩුපාඩු ඉවත් කරලා දුගී දුප්පත්භාවය තුරන් කිරීමේ නව වැඩසටහනක් දියත් කරනවා.
කවුරුත් කැමැති නෑ සදාකාලිකව දුප්පතුන් වෙලා ජීවත් වෙන්න. කවුරුත් කැමැති නෑ සදාකාලිකව වහලුන් වෙන්න දුප්පත්භාවයෙන් පෙළෙන ජනතාව දුප්පත්භාවයෙන් මිදීමට පාරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරීම, නිෂ්පාදනය, අපනයනය යන කරුණු කේන්ද්‍ර කරගෙන අලුත් දුප්පත්භාවය තුරන් කිරීමේ වැඩසටහනක් දියත් කරනවා. ඒ අනුව සෑම දුප්පත් පවුලකට මාසයකට රුපියල් 20,000ක මූල්‍ය ශක්තියක් ලබාදෙමින් අවුරුදු දෙකක් ඇතුළත දුප්පත්භාවයෙන් මිදෙන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.
යොවුන් පරපුර වෙනුවෙන් යොවුන් සංවර්ධන මධ්‍යස්ථාන බිහි කරලා තරුණ පරපුරේ නිපුණතාවය, කුසලතාවට ඉහළ මට්ටමකට ගෙන ඒමට අපි කටයුතු කරනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ සෑම පාසලක්ම සුහුරු පාසලක් බවට පත් කරනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණය පළමු ශ්‍රේණියේ සිට උගන්වන්න කටයුතු සම්පාදනය කරනවා. මේ දේවල් අපි කරන්නේ රටේ දරුවන්ට නිදහස් අධ්‍යාපනයේ සැබැ අරුණලු උදා කරන්නයි.
පුංචි මනුස්සයාගේ දුක හඳනන, ජනතාව මුහුණ දෙන ගැටලුවලට උත්තර සපයන, අලුත් ගමනකට ඔබගේ සහාය ලබාදෙන්න. සැප්තැම්බර් 21 වැනිදා ඔබ ලබාදෙන ජනවරම තුළ මේ රටේ සංවර්ධනයේ ස්වර්ණමය යුගය බිහි කොට සියලුම දෙනාටම ශක්තිය ලබාදෙන යුගය බිහි කරන්න සියලුමදෙනා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානයට සහාය ලබාදෙන්න.
එහිදී අදහස් දැක්වූ නලීන් බණ්ඩාර මහතා-
රටේ සමස්ත ජනතාවම හඳුනාගෙන තිබෙනවා දිනන අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස තමයි කියලා. මේ නිසා එක කට්ටියක් හොඳටම කලබල වෙලා. දකුණු ආසියාවේ දැවැන්තම රබර් කර්මාන්ත ශාලාවක් තිබුණා මුවන් කන්ද කර්මාන්ත ශාලාව. ඒ කර්මාන්ත ශාලාව ගිනි තිබ්බේ කවුද? ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෝ. එදා මේ රටේ ආර්ථිකයට දැවැන්ත මරු පහරක් එල්ල කරපු දේශපාලන ව්‍යාපාරයක්.
එහිදී අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා :
රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ රැස්වීම් 30 ක් ගිය සතියේ නතර කෙරුවා. ඇමැතිවරු ඉන්නවා මිනිස්සු නැහැ. මෙතන මොකද වෙලා තියෙන්නේ. මෙතන අපිත් ඉන්නවා මිනිස්සුත් ඉන්නවා දස දහස් ගණනින් සජිත් මහත්තයව ජයග්‍රහණය කරන්න. අද රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකක්ද කරන්නේ මලික් සමරවික්‍රම හරහා අනුර කුමාර සහෝදරයව කන්ට්‍රෝල් කරලා අනුර දිනවන්න තමයි අද රනිල්ට වුවමනා කරලා තියෙන්නේ.
එහිදී අදහස් දැක්වූ ජේ. සී. අලවතුවල මහතා :
කුරුණෑගල වයඹ යන පැත්තට තමයි රට යන්නේ. 2015 දී අපි මැතිවරණය ජයග්‍රහණය කළා. මෙවර කුරුණෑගල ආසන 14 ම සජිත් ප්රේමමදාස මැතිතුමාව ඉහළින්ම දිනවන කොට මේ මාවතගම වැඩි ඡන්ද 25,000 කින් දුරකතනය දිනවනවා කියන එක අපි කියන්න කැමැතියි.
0 Comments