sajith-speaks

"රනිල් අනුර කුමන්ත්‍රණය පරාජය කර මේ රටේ පොදු ජන යුගය උදා කරන්නට සැප්තැම්බර් 21 වෙනදා ටෙලිෆෝනයට ඡන්දය දෙන්නට මෙරටේ බහුතර ජනතාව සූදානමින් සිටින" බව සමගිජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රත්නපුරයේ පැවැති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියකදී පැවැසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු සජිත් ප්‍රේමදාස,

" මෙරටේ නැවත සංවර්ධන යුගයක් බිහිවෙනවා. අලුත් කර්මාන්ත ඇති කරන යුගයක් බිහිවෙනවා. තරුණ තරුණියන්ට රැකියා උත්පාදනය කරන යුගයක් බිහිවෙනවා. ඒ යුගය බිහි වන්නේ වෙන හේතුවක් නිසා නොවෙයි මේ රටේ පොදු ජන යුගයේ නායකයා විදියට මාව පත්කර ගන්න ඔබ තීරණය කර තිබෙන නිසයි. අපි මේ රටේ දුප්පත්කම තුරන් කරනවා. ගම හදා නගරය හදා රට හදන වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. අපි මේවා කරනවාට රනිල් අනුර බලවේගය කැමැති නැහැ.



ඒ නිසා තමයි ටෙලිෆෝනය ජනාධිපතිවරණයේදී පරාජය කරන්න දිවා රෑ නොබලා රනිල් අනුර යුවළ කුමන්ත්‍රණය කරනවා. ඒ කුමන්ත්‍රණවලට රටේ ජනතාව හෝ රත්නපුර ජනතාව රැවටෙන්නේ නෑ කියන එක අපි හොඳාකාරව දන්නවා. මෙරටේ පතල් කම්කරුවාගේ සිට මැණික් කපන කම්කරුවා මැණික් අපනයනය කරන ව්‍යාපාරිකයා දක්වා මේ ක්ෂේත්‍රයේ සියලුම අංශවල පුහුණුව සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ ප්‍රතිපත්තිය අපි එළි දක්වලා ඉවරයි. ඒ වගේම මේ ප්‍රදේශයේ තේ රබර් වගාකරුවන්ට පොහොර මිටිය රුපියල් 5000ට දෙන වැඩපිළිවෙළ අපි අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරනවා. ගෝඨාභය රාජපක්ෂ රත්නපුරේ ඇතුළු ලංකාව පුරා පිහිටි මැණික් ඉඩම් විදේශිකයන්ට විකුණන්නට කටයුතු සූදානම් කළා. නමුත් ඒක කරන්න අපි ඉඩ දුන්නේ නෑ. පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ඊට එරෙහිව සටන් කරලා ඒ කටයුත්ත නතර කරන්න අපට පුළුවන්කම ලැබිලා තිබෙනවා. ඒ වගේම මේ රටේ වතු ප්‍රජාවටත් අභිමානවත්ව ජීවත්විය හැකි පරිදි ඔවුන් කුඩා තේවතු හිමියන් බවට පත් කරන ජාතික වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා.

ඒ වැඩපිළිවෙල මෙරටේ රැකියා විරහිත තරුණ පරම්පරාවට ආදේශ කරන්නටත් අපි අපේක්ෂා කරනවා.

ඒ වගේම මෙරටේ දුප්පත්කම තුරන් කරන දෑ අවුරුදු වැඩසටහන අපි දැනටමත් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ අනුව තෝරා ගත් එක් පවුලකට මාසිකව රුපියල් විසිදහසක් බැගින් දීමනාවක් ලබා දෙන්න අපි තීරණය කර තිබෙනවා. ඒ ය⁣ටතේ නිෂ්පාදනය ආයෝජනය, ඉතිරිකිරීම පරිභෝජනය වැනි කරුණු පහක් යටතේ ගැමියන් පුහුණු කරමින් ඒ අනුව මෙහෙයවමින් ඔවුන් ඇති හැකි අය බවට පත් කරන්න පුළුවන් සැලැස්මක් අපිට තිබෙනවා. මෙරටේ ගංවතුරෙන් යටවෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගංවතුර කළමනාකරණය කිරීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නත් අපි සැලසුම් කරලා තිබෙනවා. දස ලක්ෂයක් නව ව්‍යවසායකයන් බිහිකිරීමේ ජාතික වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරන්න සූදානම් කර තිබෙනවා. පාඨලී චම්පික මැතිතුමාගේ නායකත්වයෙන් මෙරටේ අස්සක් මුල්ලක් නෑර තොරතුරු තාක්ෂණය පරිගණක සාක්ෂරතාව අපේ තරුණ පරම්පරාවට ලබාදීමේ ජාතික වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා.



දිවයින පුරා මැතිවරණ කොට්ඨාස මට්ටමෙන් නිෂ්පාදන කර්මාන්ත ශාලා එක බැගින් පිහිටුවීමේ ජාතික වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. එහි දෙවැනි පියවර හැටියට සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක් නිෂ්පාදන කර්මාන්ත ශාලාව බැගින් ආරම්භ කරන්නත් අපි සැලසුම් කර තිබෙනවා. මේ රටේ නිවාස අහිමි ජනතාව වෙනුවෙන් ද නැවත වතාවක් ගම්උදා වැඩසටහන නගර උදා වැඩසටහන ක්‍රියාත්මක කරලා ඔවුන්ගේ හිසට සෙවණක් ලබාදීමේ වැඩසටහන නැවතත් මම ආරම්භ කරනවා."
(ජයසූරිය උඩුකුඹුර)