sajith-speaks

 1.ඔබ ජනපති ධුරයට පත්වුණොත් නව ආණ්ඩුව පිහිටුවීමට සිදුකරන වැඩපිළිවෙළ කුමක්ද?

මේ රටේ ජනතාව නව ආණ්ඩුවක් බලාපොරොත්තු වෙනවා. මන්ද, මෙම ආණ්ඩුව ජනතා වරමකින් ක්‍රියාත්මක වන්නක් නෙවෙයි. ආණ්ඩුවක් පිහිටුවන ආකාරය අපේ ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වෙනවා. ව්‍යවස්ථාවට අනුකූලව නිසි අවස්ථාවේදී ඒ සඳහා පියවර ගන්නවා.


2. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේදී ප්‍රමුඛතා මොනවාද?


අපි තාමත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගෙන නෑ. අපි ගත්ත ණය ගෙවා ගැනීමට නොහැකි අර්බුදයකයි අපි තාමත් ඉන්නේ. අපි කොහොමද මේ ගැටලුව නිරාකරණය කර ගන්නේ කියන එක අද තිබෙන ප්‍රධානතම ප්‍රශ්නයයි. එයට ප්‍රමුඛතාව ලබාදිය යුතුයි. දේශීය මූල්‍ය වෙළඳපොළ දියුණු කළ යුතුයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ දී ඇති ගැටලු වහාම විසඳිය යුතුයි. ඔවුන්ට දීර්ඝකාලීන ණය ලබාගැනීම සඳහා සංවර්ධන බැංකු ක්‍රමය ශක්තිමත් කළ යුතුයි.

ගමේ නගරයේ සිටින ව්‍යවසායකයන්ට දීර්ඝකාලීන ණය පහසුකම් ලබාදිය යුතුයි. ඔවුන් දිරිගැන්විය යුතුයි.


3.ජනතාවගේ බදු බර අඩු කරන  හා ජීවන වියදම අඩු කරන ජනතා සහන ලබාදීමට සිදුකරන ප්‍රායෝගික වැඩපිළිවෙළ කුමක්ද?

'සැමට ජයක්’ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සමස්ත ආදායම් ඉලක්කවලට බාධාවක් නොවන පරිදි මධ්‍යම පාන්තිකයන්ගේ අධික ජීවන බව සැහැල්ලු කිර්ම සඳහා ඉලක්ක කරගත් බදු ව්‍යුහයේ සංශෝධනයක් අපි ඉදිරිපත් කරලා තිබෙනවා. පුද්ගල ආදායම් බද්ද දැනට පවතින6% සිට 36% දක්වා වූ ප්‍රතිශතය 1% සිට 24% දක්වා අඩු කිර්මට- කටයුතු කරනවා. වැට් බද්ද 18%සිට15%දක්වා අඩු කිරීමට කටයුතු කරනවා. සමාජයේ සෑම ස්ථරයකම ජනතාවට සහන සැලසීමේ කෙටි මධ්‍ය සහ දිගු කාලීන සැලැසුමක් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඉදිරිපත් කරලා තිබෙනවා. රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප 2025 ජනවාරි මාසයේ සිට අවමය 24%කින් ඉහළ නැංවීමට කටයුතු කරනවා. රාජ්‍ය සේවකයන්ගේ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 25,000 දක්වා ඉහළ නංවනවා. රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප රුපියල් 57,500ක මට්ටමකට ගෙන එනු ලබනවා. ඊට අමතරව විශේෂ සහනාධාර වැඩපිළිවෙළ කිහිපයක්ම ජීවන වියදම අඩු කරගැනීම සඳහා අපි ක්‍රියාත්මක කරනවා. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පත් පොලිය 15%ක් බවට යළිත් පත් කරනවා. වයස අවුරුදු 65ට වැඩි පුරවැසියන්ගේ තැන්පතුවලින් රඳවා තබාගන්නා 5% පොලිය ඉවත් කරනු ලබනවා.


පුද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් සඳහා මාසිකව රුපියල් 17,500ක සීමාවේ සිට අවම වැටුප මාසිකව රුපියල් 25,000 දක්වා සංශෝධනය කිරීමට අපි යෝජනා කොට තිබෙනවා. එමෙන්ම ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ගොඩගැනීමට දිළිඳු පවුල් සඳහා මාසිකව රුපියල් 20,000ක දීමනාවක් ලබාදීමට පියවර ගන්නවා. එමෙන්ම ගොවීන්ට, ශක්ති වී මෝල් හිමියන්ට, ධීවරයන්ට, ත්‍රිරෝද රථ රියදුන්ට, පාසල් ප්‍රවාහන අංශයේ රියදුරන්ට විශේෂ ඉන්ධන සහනාධාරයක් ලබාදීමට පියවර ගනු ලබනවා. ආබාධ සහිත පුද්ගලයන් සඳහා සහන ප්‍රතිලාභ රුපියල් 10,000 දක්වා වැඩි කිර්මට පියවර ගන්නවා. නිදන්ගත වකුගඩු රෝගයෙන් පීඩාවට පත් පුද්ගලයන් සඳහා වූ දීමනාව රුපියල් 10,000 දක්වා දීමනාව වැඩි කරනවා. වැඩිහිටි පුරවැසියන්ට ලබාදෙන සුබසාධන දීමනාව රුපියල් 5,000 දක්වා වැඩි කරනවා. කෙටිකාලීන වැඩපිළිවෙළක් ලෙස සහනාධාර අවශ්‍ය අයට ලබාදෙමින් ආර්ථික වර්ධනයට දායකත්වයක් ලබාගැනීම සඳහා සේවා නියුක්තිකයන් සහ ඌන සේවා නියුක්තිකයන් පුහුණු කරමින් ඔවුන් සේවා නියුක්තිකයන් බවට පත් කිරීමේ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. රැකියා විරහිත උපාධිධාර්න්, අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින්, ඔවුන් රටේ ආර්ථිකයට සක්‍රීය දායකත්වයක් ලබාදීමේ වැඩපිළිවෙළක් සැලසුම් කොට ක්‍රියාත්මක කරනවා.


4 ඔබගේ අමාත්‍ය මණ්ඩල සංයුතිය කෙසේද? අගමැතිවරයා කවුද?


මගේ කණ්ඩායමේ ඒ සඳහා සුදුසුකම් තිබෙන බොහෝ දෙනෙක් සිටිනවා. සුදුසු අවස්ථාවේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඒ පිළිබඳව තීරණයක් ගනිමු. වර්තමාන ව්‍යවස්ථාවෙන් ප්‍රතිපාදන සලසා ඇති අමාත්‍ය මණ්ඩලයේ සීමාව අනිවාර්යෙන්ම ආර කරගනු ලබනවා. ජාතික රජයක් පිහිටුවීමට ක්‍රියා කළත් අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව ඉහළ නැංවීමට පාර්ලිමේන්තුව වෙත හැකියාව ලබාදෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විධිවිධාන අවලංගු කරනු ලබනවා. ජාතික රජයක් පිහිටු වූවද අමාත්‍යවරුන් සංඛ්‍යාව සම්බන්ධයෙන් පවතින සීමාව එලෙසම පවත්වාගෙන යනවා. ඒ තුළින් අපට රාජ්‍ය වියදම කළමනාකරණය පිළිබඳව පූර්වාදර්ශයක් ලබාදීමට හැකි බව මගේ විශ්වාසයයි.


5 අයි.එම්.එෆ්. ගිවිසුම පිළිබඳ ක්‍රියා කරන ආකාරය කෙසේද?


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අපිත් සමග කරන නිරන්තර සාකච්ඡා තුළදී, එම නියෝජිතයන්ට අපේ අදහස් පැහැදිලිවම ඉදිරිපත් කර, ඒවා පිළිබඳව අපි එකඟතාවකට පැමිණ තිබෙනවා. මේ ආණ්ඩුව වැඩි බරක් පටවලා පීඩනයට ලක් කරලා තිබෙන්නේ මධ්‍යම පාන්තික ජනතාව සහ දිළිඳු ජනතාව මත, අයි. එම්.එෆ්. යෝජනා නාමයෙන් සෘජු බදු වැඩි කරලා තිබෙන්නේ වැඩ කරන ජනතාවගේ වැටුප් මත. වක්‍ර බදුවලින් ඒ අයත් සාමාන්‍ය ජනතාවත් පීඩනයට ලක් කරලා තිබෙනවා. ණය ප්‍රශස්ත කරන මුවාවෙන් වැඩ කරන ජනතාවගේ අර්ථසාධක අරමුදලේ පොලී අනුපාතවලට අත තබලා තිබෙනවා.

ආර්ථික ප්‍රතිසංස්කරණ තුළ අපි අනුගමනය කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙළඳපොළ මැද මාවත. ඒ තුළින් රාජ්‍ය මැදිහත්වීම පෞද්ගලික අංශයේ දායකත්වය අප සැලකිල්ලට ගන්නවා.


6  ඇමෙරිකාව, ඉන්දියාව, චීනය හා රුසියාව යන මහ බලවතුන් සමග ගනුදෙනු කිරීමේ ක්‍රියා පිළිවෙළ කුමක්ද?


අපේ රාජ්‍ය බහුපාර්ශ්වීය විදේශ සහිත ස්වෛරී රාජ්‍යයක්. අපගේ දැක්ම වන්නේ සියල්ලන් සමග මිතුරුවීම සහ කිසිවෙකු සමග සතුරු නොවීමයි. ශ්‍රී ලංකාව සියලු රටවල් සමග සම්බන්ධතා පවත්වනවා. ආර්ථික, රාජ්‍ය තාන්ත්‍රිකභාවය  එහි පදනම වනවා. අපගේ රාජ්‍යතාන්ත්‍රික      උපාය මාර්ග, ආයෝජන, වෙළඳාම සහසංචාරකකර්මාන්තය යන කුලුනු මත ගොඩනැගෙනවා.


7 රට සංවර්ධිත රාජ්‍යයක් කරා යොමු කිරීමේදී ලබා දෙන ප්‍රමුඛතා මොනවාද?


සමගි ජන සන්ධානයේ අරමුණ, සමාජ යුක්තිය පදනම් කර ගනිමින් සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ඔස්සේ රට යළිත් ගොඩනැගීමයි, සෑම පුරවැසියෙකුගේම හඬ නිසි ලෙස ඇසෙන පරිදි යුක්තිය රජයන පාලන ක්‍රමයක්, රාජ්‍යයක් ඇති කිරීමයි. ශ්‍රී ලාංකික සමාජයේ කිසිවෙකු අත් නොහැරෙන පරිදි සමානාත්මතාවය පිළිබඳ ගැඹුරු කැපවීමකින් නම්‍යශීලී, සර්වග්‍රාහී ආර්ථිකයක් නිර්මාණය කිර්මයි. පුරවැසි ජනතාව මංකොල්ල කෑමට ලක්කරමින්රාජ්‍ය තන්ත්‍රය පිළිබඳව තිබූ විශ්වාසය පලුදු කරමින් අවසාන වශයෙන් මුළු රටම බංකොලොත් කිරීමට හේතු වූ රට තුළ පිළිකාවක් ලෙස උඩුදුවා ඇති දූෂණය මුලිනුපුටා දැමීම කටයුතු කිරීමයි.


එමෙන්ම සෞභාග්‍ය කරා අප යන ගමනේදී අධ්‍යාපනය, සෞඛ්‍ය, නිවාස ක්ෂේත්‍රයේ වැඩි දියුණුව සඳහා විශේෂ අවධානය යොමු කොට ක්‍රියා කිරීම. තරගකාර් ලෝකයට ගැළපෙන මානව සම්පත් වර්ධනය කිරීමේ අරමුණ ඇතිව අධ්‍යාපන අංශයේ දියුණුව සඳහා ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම. ඒ වගේම ‘සැමට ජයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ රට සංවර්ධිත රාජ්‍යය කරා යොමු කිරීමේදී අප ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන අංශ පිළිබඳ ඔබට සවිස්තරාත්මක තොරතුරු ලබාගන්නට පුළුවන්.




8 පළාත් සභා ක්‍රියාත්මක කරනවාද? ‍ ක්‍රියාත්මක කරනවා නම් ඒ කෙසේද?


‍13 වන ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු වත්මන් ව්‍යස්ථාව සම්පූර්ණයෙන් ක්‍රියා කිරීමට අපි කැපවී කටයුතු කරනවා. මොකද එම සංශෝධනය තුළ අපේ රටේ එකමුතුභාවයට කිසිදු හානියක් නෑ. එය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හරහා පිළිගෙන තිබෙනවා. එය අප ක්‍රියාත්මක කළ යුතුයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්පළාත් සභාවලට ලබා දී ඇති බලතල ජනාධිපතිවරයා විසින් ඒකපාර්ශ්වීය ආපසු ලබාගැනීමට අපි කටයුතු කරන්නේ නෑ. පළාත් මට්ටමින් සිදුකරන සංවර්ධන කාර්යයන් ශක්තිමත් කරමින් පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා වන කැපවීම අපි යළි යළිත් තහවුරු කරන බව කියන්න කැමතියි.


9 දූෂණය වැළැක්වීම සහ දූෂිතයැයි කියූ අයට දඬුවම් ලබාදීම කරන්නේ කෙසේද?


අල්ලස සහ දූෂණය පිටු දැකීම සඳහා විපක්ෂයේ සිටම පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කළේ අපි. අද අල්ලස සහ දූෂණය නැති කිමට කතා කරන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෝ, එදා පාර්ලිමේන්තුවේදී ඒ පනත් කෙටුම්පත ඉදිරියට ගෙන යන්න සහායක් ලබා දුන්නේ නෑ. විපක්ෂයේ සිටිමින් අල්ලස හා දූෂණයට එරෙහිව පනතක් ඉදිරිපත් කළ අපි ජනාධිපති ධුරයේදී ඒ වගකීම පැහැර හයිද? රටේ ජාතික ධනය සොරකම් කළ සියලු පාර්ශ්වයන්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා. රටෙන් පැහැරගන්ධනය ආපසු ලබාගැනීමට නව නීතිර්ති ගෙන එනවා. නඩු පැවැමේ ස්වාධීනත්වය සහ කාර්යක්ෂමතාව සහතික කිර්ම සඳහා ස්වාධීන මහජන අභිචෝදක කාර්යාලයක් ස්ථාපනය කරනවා. මා සඳහන් කළ සොරකම් කළ වත්කම් යළි ලබාගැනීම සඳහා දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වත්කම් ප්‍රතිසාධන කෙටුම්පත නව රජයක් තේර් පත්වී මාසයක් තුළ සම්මත කර ගන්නවා. එමෙන්ම දැනට පිහිටුවා ඇති දූෂණ විරෝධී ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය යළි බලගන්වා අල්ලස් සහ දූෂණ නඩු අප්‍රමාදව දිනපතා විභාග කිරීමට පියවර ගන්නවා.


10 ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් සෑදීමේදී ඔබේ අදහස කුමක්ද?


පසුගිය කාලසීමාවේ සාම්ප්‍රදායික විපක්ෂය ලෙස නෙවෙයි අපි කටයුතු කළේ. මේ රටේ විවිධ ක්‍ෂ්ත්‍රවල වෘත්තිකයන්, විද්වතුන් මෙන්ම වෘත්තීය සමිති නියෝජිතයන්, සිවිල් හා බහුජන සංවිධාන නියෝජිතයන් සමග මම සෘජුවම සාකච්ඡා කොට තිබෙනවා. ඔවුන්ගේ ගැටලු හඳුනාගෙන සිටිනවා පමණක් නොවෙයි, ඒවා පටු දේශපාලනීකරණයෙන් ඔබ්බට ගෙන යමින් විසඳුම් ලබාදීමටත් ඒ සඳහා වූ ප්‍රතිපත්ති සම්පාදනයටත් කටයුතු කළා. ප්‍රශ්නයක් දේශපාලනයට නතු කොට බලය ලබා ගැනීමට නොව, එම ප්‍රශ්නයට විසඳුමක් සෙවීමටත් ඒ සඳහා සකස් කළ යුතු ප්‍රතිපත්තිමය රාමුව නිර්මාණය කිර්මටත් අප කටයුතු කළා. පාර්ලිමේන්තුව තුළ 27(2) මා විසින් ඇසූ ප්‍රශ්නාවලිය විමසා බලන්න. ප්‍රශ්න පමණක් නොව පිළිතුරු ඒ වගේම ජාතික ප්‍රතිපත්ති සකස් විය යුතු ආකාරය පිළිබඳව අපි කරුණු ඉදිරිපත් කරලා තිබෙනවා. මෙම ක්‍රියා පිළිවෙත තුළ කිසිදු අවස්ථාවක දේශපාලන කන්නාඩියකින් ඒවා හඳුනාගැනීමට හෝ ඉදිරිපත් කිරීමට අපි උත්සහ කළේ නෑ. මමත් අපේ කණ්ඩායමටත් අපේ රටේ ඉදිරි ගමන සඳහා වූ ජාතික ප්‍රතිපත්ති සැකසීම පිළිබඳව අවශ්‍ය ශක්තිය දැනුම ලබාගෙන තිබෙනවා. එහිදී ප්‍රධානතම ක්‍රමවේදය වන්නේ සාකච්ඡාව, සම්මන්ත්‍රණය හා සම්මුතියයි.

( දිනේෂ් සමරකෝන්)