sajith-speaks

 පාට පක්ෂ භේදයෙන් තොරව මනුෂ්‍යත්වයේ නාමයෙන් සියලුම ජනතාවට සමගියෙන් ජීවත්විය හැකි රටක් ලබන 21 වැනිදායින් පසු ගොඩනගන බව සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු අනෙකුත් පක්ෂ සඳහා කිසිදු ගැටලුවකින් තොරව කටයුතු කළ හැකි වටපිටාවක් නිර්මාණය කරන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.ඔහු මෙසේ පැවැසුවේ ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ හෙට්ටිපොළ සහ අනුරාධපුර ජනරැලිවලදීය.


ජනතාව දිනවන එකම ගමන වන්නේ සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවීම බවත් එසේ ජයග්‍රහණය කළ පසු රටටම සංවර්ධනයේ අරුණලු උදා කරන බවත් ඔහු සඳහන් කළේය.සෑම දුප්පත් පවුලකටම මාස 24කින් දුප්පත්කමින් ගොඩ ඒමට මසකට රුපියල් විසිදහස බැගින් ලබාදී ආයෝජනය,නිෂ්පාදනය, පාරිභෝජනය, ඉතිරි කිරීම හා අපනයන යන වැඩසටහන් හරහා දුප්පත්කම තුරන් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමන්ගේම කියා ඉඩමක් නිවසක්

නැති ජනතාව වෙනුවෙන් නිවාස අයිතිය හා ඉඩම් අයිතිය ලබා දෙන ගම් උදා සංකල්පය නැවත ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ජාත්‍යන්තර තලයේ උසස් තරුණ සංවර්ධන මධ්‍යස්ථාන ආරම්භ කර තොරතුරු තාක්ෂණය පරිගණක විද්‍යාව ඉංග්‍රීසි හා විදේශ භාෂා ක්ෂේත්‍ර තුළින් තරුණයන් දැනුමින් සන්නද්ධ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


ලංකාවේ ලූනු, බඩ ඉරිඟු, අර්තාපල් නෙළන විට ඒවා විදේශයෙන් ගෙන්වීමට රනිල් වික්‍රමසිංහ කටයුතු කරන බවත් ගොවියාත් රකින පාරිභෝගිකයාත් රකින මේ පාර්ශ්ව දෙකම ආරක්ෂා වන වැඩපිළිවෙළකට සමගි ජන බලවේගය යොමුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. කිලෝ 50 පොහොර මිටිය රු. 5000ට සමගි ජන බලවේගය දෙන බවත් මෙයට අමතරව ගොවියාට ධීවරයාට ත්‍රීරෝද හිමියන්ට පාසල් බස් රථ හිමියන්ට ශක්ති සහල් මෝල් හිමියන්ට ඉන්ධන සහනාධාරය දෙන බවත් ඔහු සඳහන් කළේය.රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ආණ්ඩුව මෙන් හිතවතුන්ට කෝටි ප්‍රකෝටිපතියන්ට සහන දීමක් සිදු නොවන බවත් වැඩ කරන ජනතාවට සහන හිමිවන බවත් ප්‍රේමදාස මහතා කීවේය.


මෙරට පරිපාලන දිස්ත්‍රික් 25 කේන්ද්‍ර කරගෙන ජනාධිපති සංවර්ධන කාර්ය සාධන බලකායක් ඇති කරන බවත් ඒ තුළින් සියලු පරිපාලන දිස්ත්‍රික්වල සංවර්ධන කටයුතු සෘජුව අධීක්ෂණය කරන බවත් ඔහු සඳහන් කළේය. ජනාධිපතිවරයාත් ජනතාවත් අතර විධිමත් සම්බන්ධතාවක් ඇති කරගෙන  නගර හා ගම් හදා ගම් උදා කරන නගර උදා කරන වැඩපිළිවෙළකට යොමු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


ආණ්ඩුව කතරගම පූජා භූමියටත් බාර් පර්මිට් බියර් පර්මිට් ලබා දී ඇති බවත් ළඟදීම මිහින්තලා පුදබිමේ අටමස්ථානයේ සොලොස්මස්ථානයේත් බාර් ඇති කළ හැකි බවත් ප්‍රේමදාස මහතා කීවේය.

මේ රජයේ ප්‍රතිපත්තිය වී ඇත්තේ බාර් පර්මිට් වයින් ස්ටෝර්ස් පර්මිට් දීම බවත් තමා බලයට පත් වූ විගස මේ බලපත්‍ර සියල්ල නැවත අහෝසි කර වරප්‍රසාද දේශපාලන වාසිතකා ලබා දුන් සංතෝසම් සියල්ල ඉවත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


රනිල් - අනුර දේශපාලන දීගයක් කන බවත් මේ දවස්වල ඔවුන් දේශපාලන මධුසමය ගත කරන බවත් ඔවුන්ගේ ඩීල් එක තමා පරාජය කිරීම බවත් මේ හොර වංචාකාරි ඩීල්වලට ඉඩ දිය නොහැකි බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.21 වැනිදා වනතුරු ඔවුන්ට කැමති ඩීල් එකක් දමා දේශපාලන මධුසමය ගත කිරීමට හැකි බවත්  රටේ ජනතාව මේ දේශපාලන මධුසමය අවසන් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


තරුණ තරුණියන් වෙනුවෙන් භාෂා පුහුණුව, පරිගණක පුහුණුව, තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ලබා දෙන බවත් අධ්‍යාපනය අයිතිය, රැකියා අයිතිය තහවුරු කර දැනුම කේන්ද්‍රීය ආර්ථිකය ගොඩනගන බවත් ඔහු කීවේය. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ආරක්ෂක අංශ, පිරිසුදු කිරීම් කරන කම්කරු ජනතාවත් පෞද්ගලික අංශයේ අයගේ අවම වැටුප රු 25,000 දක්වා වැඩි කිරීමට රෙගුලාසි ගෙන එන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.ජනාධිපතිවරයාට මන්දිර අවශ්‍ය නොවන බවත් ඒ මන්දිර තරුණ තරුණියන්ට ජාත්‍යන්තර තලයේ තොරතුරු තාක්ෂණය පරිගණක විද්‍යාව ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ දැනුමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන බවත් ඔහු සඳහන් කළේය.

 නිමල කොඩිතුවක්කු