salary-hike-government-services

හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ උදය ආර්. සෙනෙවිරත්න කමිටු යෝජනාවක් ලෙස ලබන වසරේ ජනවාරි මස සිට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමත කර ඇතැයි කියන වැටුප් හා දීමනා වැඩි කිරීම පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරවීම ගැටලුකාරී බව ඉරිදා පුවත්පතක් කරුණු සහිතව වාර්තා කර තිබේ.



මෙම වැටුප් යෝජනා ජනාධිපතිවරණයට බලපෑමක් කිරීම සඳහා ඉදිරිපත් කර ඇති බවට මැතිවරණ කොමිසමට පැමිණිලි ඉදිරිපත් වී ඇති අතර එම කොමිසමේ මතය වී ඇත්තේද අයවැය යෝජනාවක් ලෙස හෝ වෙනත් ආකාරයකට පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව එම යෝජනා ක්‍රියාත්මක කළ නොහැකි බවයි.

එසේම එම යෝජනාව ඡන්දය ඉලක්ක කර කැබිනට් මණ්ඩල තීරණයක් ලෙස ප්‍රකාශයට පත්කළ ද ඊට අදාළ කැබිනට්
මණ්ඩල පත්‍රිකාවක් නැති බවද මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගේ මතය වී ඇත. සැප්තැම්බර් 02 දිනට අදාළ කැබිනට් තීරණ වල එවැනි වැටුප් යෝජනාවක් සඳහා අනුමැතිය ලබාදුන් බව සඳහන් වන්නේ නැති අතර ඊට පෙර උදය ආර් සෙනෙවිරත්න කමිටුවේ අතුරු වාර්තාව අගෝස්තු 12 දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ එහි ඇති නිර්දේශ 18 ක් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය එකඟතාවක් ලබා ගැනීමටය.


එහි රාජ්‍ය සේවයේ එක් එක් ශ්‍රේණි සඳහා වන වැටුප් වැඩිවීම් ඇතුළත් වූයේ නැත.
මෙම වැටුප් වැඩිවීමේ සාමාන්‍යය එක් සේවකයකු සඳහා මාසයකට රුපියල් 25,000ක් ලෙස සැලකුවත් රාජ්‍ය සේවකයන් 14 ලක්ෂයක් සඳහා වර්ෂයකට රුපියල් බිලියන 420 ක් අවශ්‍ය වන අතර එය රාජ්‍ය සේවක වැටුප් සඳහා දැනට කරන වියදම සමඟ ගත් කළ ඉන් තුනෙන් එකක පමණ අගයක් ගනී.
(ඉඳුවර බණ්ඩාර - Anidda)