saman-sri-rathnayake

 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඡන්ද දායකයන්ගෙන් 97% කට වැඩි ප්‍රමාණයකට බෙදා දී අවසන් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේය.නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයන්ට තැපැල් කාර්යාල වෙත ගොස් නිල ඒවා ලබා ගැනීමේ අවස්ථාව තිබෙන බවද හෙතෙම පවසා සිටියේය. ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ ඡන්ද දායකයන් දැනුවත් කිරිම සඳහා ඊයේ (18දා) මැතිවරණ කොමිෂන් සභාවෙහිදී පැවති දැනුවත් කිරීමේ වැඩ සටහනට සහභාගි වෙමින් මේ බව සඳහන් කළ සමන් ශ්‍රී රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ යම් ලෙසකින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඡන්ද මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට නොහැකි වුවත්

ඡන්දය භාවිත කිරීමේ ගැටලුවක් ඇති නොවන බවය.ඔහු මෙසේද පැවසීය.


“ඒත් නිල හැඳුනුම්පතක් අනිවාර්යෙන් තියෙන්න ඕනෑ. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඡන්ද මධ්‍යස්ථානය වෙත රැගෙන යාම එම කටයුතු සඳහා පහසුවක් වෙනවා. තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙන ආකාරයට මේ වන විට නිල ඡන්ද දැන්විම් පත්‍රිකා 97 කට වැඩි ප්‍රමාණයක් නිවෙස් වෙත බෙදා දී තියෙනවා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තවමත් ලැබී නොමැති අයට තැපැල් කාර්යාලයට ගිහින් ලබා ගන්න පුළුවන්.


නිල හැඳුනුම්පත්වලින් එකක් ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන යන්න ඕනෑ. මේ නිසා නිල නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව, නිල හැඳුනුම්පත ඊට පෙර දිනයේ සූදානම් කරගෙන තබා ගන්න.මේ නිසා 21 වැනි දින ඡන්ද මධ්‍යස්ථානයට ගොස් පහසුවෙන් ඡන්දය භාවිතා පුළුවන්.පවතින ක්‍රම වේදය අනුව ඡන්ද දායකන් ඡන්ද මධ්‍යස්ථන වෙත ප්‍රවාහනය කරන්න බැහැ.

ඒත් තමන්තේ වාහනයකින් ඡන්ද මධ්‍යස්ථාන ආසන්නයට යන්න පුළුවන්. හැබැයි එකම වාහනය අවස්ථා කිහිපයකදී ඡන්ද දායකයන් රැගෙන යනවා නම් නීතිය ක්‍රියාත්මක කරන්න වෙනවා. ආබාධිත පුරවැසියන් ඡන්ද මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සඳහා අවසර ලබා ගන්න ඕනෑ.ඡන්දය ලකුණු කිරීමේදී කතිරය හෝ අරාබි ඉලක්කම් එක භාවිත කරන්න පුළුවන්. මනාප සලකුණු කිරීමේදී අරාබි ඉලක්කම් එක හා දෙක භාවිත කරලා මනාප ලබාදෙන්න පුළුවන්."
(ඉන්දික හේවාවිතාරණ)