saman-sri-ratnayake-speaks

 ජනපතිවරණයෙන් පසු පත්වන නව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව ඕනෑම මොහොතක විසුරුවා හැර දින 66ක් ඇතුළත මහමැතිවරණයක් පැවැත්වීමට නීතියෙන් අවසර ලබා දී ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.මාධ්‍යවේදීන් හා සිවිල් ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා මහනුවර රෝයල් මෝල් හෝටලයේ පැවැති වැඩමුළුවකදී මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා මේ බව පැවැසීය. ඉන්ටර්නිවුස් ආයතනය මගින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.



මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙසේද කීය. ජනාධිපතිවරණයෙන් පසුව පත්වන ජනාධිපතිවරයාට පාලන කටයුතු පහසුවෙන් සිදු සිදු කිරීමට කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට මන්ත්‍රිවරුන් ප්‍රමාණවත් නොමැති බවට සිතන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හැකියාව තිබෙනවා.එසේ වුවහොත් සති පහත් හතත් ඇතුළත නාම යෝජනා කැඳවා දින 66 ක කාලයකදී මහ මැතිවරණයක් පැවැත්වීමට හැකියාව තිබෙනවා.

අලුතින් පත් වන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම ද මේ වසර තුළම සිදුවනවා.

කෙසේ නමුත් අධිකරණ තීන්දුවට අනුව පළාත් පාලන මැතිවරණයද පැවැත්විය යුතුයි. නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් පළාත් පාලන මැතිවරණයට බාධාවක් නොවන ආකාරයෙන් මහ මැතිවරණය පැවැත්විය යුතුව ඇතැයි ද ඔහු කියා සිටියේය.

 මොහොමඩ් ආසික්