shehan-semasinghe-accident

අධික ලෙස මත්පැන් පානය කරමින් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ ගේ ජීප් රථය අනතුරට ලක්කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් පුත්තලම සහකාර පොලිස් අධිකාරිවරයා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (15 වැනිදා) නියෝග කර ඇත.

මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ සිය පවුලේ සාමාජිකයන් සමගින් ගමන් ගත් ජීප් රථය පුත්තලම පාලවිය දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදී මෝටර් රථයක් හප්පා අනතුරට ලක්කර තිබුණේ පෙරේදා (14 වැනිදා) රාත්‍රියේ දී ය. මෙම රථය පුත්තලම සහකාර පොලිස් අධිකාරී 2 තනතුර දරණ රථවාහන දිසාව භාරව කටයුතු කරන සහකාර පොලිස් අධිකාරීවරයකු විසින් පදවා ඇති බව පොලිස් විමර්ශන මගින් අනාවරණය විණි.

රාජ්‍ය ඇමැතිවරයා විසින් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට කරන ලද ඉල්ලීම මත මෝටර් රථය පැදවූ සහකාර පොලිස් අධිකාරීවරයාගේත් රාජ්‍ය ඇමතිවරයාගේ ජීප් රථය පැදවූ රියැදුරුගේත් බීමත්කම පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී සහකාර පොලිස් අධිකාරීවරයා බීමතින් සිට ඇති බව අනාවරණය වී ඇත. අනතුරින් කිසිවකුට හෝ අනතුරක් සිදුව නැතිමුත් සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගනිමින් බීමත්ව රිය පැදවීම, තවත් ජීප් රථයක් අනතුරට ලක්කිරිම හා අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනා මත පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිමට පියවර ගෙන ඇත.
(එෆ්.අස්ලම් /ජූඩ් සමන්ත - පුත්තලම)