sjb-kandy-incident

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට පැවැති ජන හමුවට ආ ආධාරකරුවකු රතිඤ්ඤා තොගයක් දැල්වීම නිසා පොලිසියේ හයදෙනකු ඇතුළු අටදෙනකු පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි.




මහනුවර මධ්‍යම වෙළෙඳ පොළ අසල ඇති බර්ඩ් උද්‍යානයේ මෙම රතිඤ්ඤා විශාල ප්‍රමාණයක් දල්වා ඇත. ඒ අවස්ථාවේ ඒ අසල සිටි පොලිසියේ හය දෙනකු සහ රතිඤ්ඤා පත්තු කිරීමට ආ දෙදෙනා මෙසේ තුවාල ලබා ඇතැයි දැනගන්නට ඇත. තුවාල ලැබූ පිරිසගේ තත්වය බරපතළ නොවන බව මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂිකා ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවැසුවාය.


තුවාලකරුවන් අතර එක් අයකු සාමාන්‍ය තුවාල ලබා තිබෙන බවත් සෙසු තුවාලකරුවන් හදිසි ප්‍රතිකාර ලබන බවත් අධ්‍යක්ෂවරිය පැවැසුවාය.

මහනුවර මධ්‍යම වෙළෙඳ ඉදිරිපිට පැවැති මෙම රැස්වීමට විශාල පිරිසක් සහභාගී වූ අතර රැස්වීම ආරම්භ කිරීමට මොහොතකට පෙර එහි සංවිධායකයන් පිරිසක් රැස්වීම් භූමිය අසල වූ බර්ඩ් උද්‍යාන භූමියේදී රතිඤ්ඤා තොගයක් දල්වා ඇත.



රැස්වීමේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි පොලිස් නිලධාරීන් අතර සිටි හය දෙනකු පිලිස්සුම් තුවාල ලැබූ අතර රතිඤ්ඤා දැල් වූ පිරිසේ දෙදෙනකු ද තුවාල ලැබූ බව ඒ අසල සිටි පුද්ගලයෙක් පැවැසීය.අනතුර සිදුවූ අවස්ථාවේ එම ස්ථානයේ රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරිහු යුහුසුලුව තුවාලකරුවන් රෝහලට යැවීමට පියවර ගත්හ. මහනුවර පොලිස් මූලස්ථානය පරීක්ෂණ පවත්වයි.
(ජේ ඒ එල් ජයසිංහ)