sjb-npp-political-situation

ජනාධිපතිවරණයට දින ළංවීමත් සමග උණුසුම ඉහළ යමින් තිබේ. එමෙන්ම මැතිවරණ සමීක්ෂණ වාර්තා ද හතු පිපෙන්නාක් මෙන් එළිදැකීම ද සිදුවේ. තවත් සමීක්ෂණ වාර්තා ඒ ඒ අපේක්ෂකයන්ට වාසිදායක ලෙස ඒ ඒ පාරිශ්ව විසින් එළියට දැමීමක් බව ද කියැවේ. මේ තත්වය මැතිවරණ කොමිෂන් සභාවට ද හිසරදයක් වී ඇති බව පැවසේ.

''ඔය සමීක්ෂණ වාර්තා පිළිගන්න එපා. නියම සමීක්ෂණය තියෙන්නේ 21 වැනිදාට. ඒ සමීක්ෂණයේ ප්‍රතිඵල අපි 21 මධ්‍යම රාත්‍රියේ ඉඳන් කියන්නම්. එතකන් ඉවසන්න" මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා මාධ්‍යයට එසේ කියා තිබිණි.

සමීක්ෂණ වාර්තා පිල් මාරුවට ද බාධාවක් වී තිබෙන සෙයකි. විපක්ෂය නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් පිල් මාරුවට සූදානම්ව සිටියත් කෙළින් තීරණයක් ගැනීමට නොහැකිව සිටින්නේ ද සමීක්ෂණ වාර්තා නිසාය.

“තව දවස් තියෙනවනේ. අපි පොඩ්ඩක් බලාගෙන ඉමු." එම මන්ත්‍රීවරුන් දෙදෙනා තම හිතවතුන්ට එසේ කියා තිබේ.

“දැන්ම එන්න කලබල වෙන්න එපා. මට දෙනවා කියපුවාවත් තවම මට ලැබුණේ නෑ. මෙතැන ගොඩක් ලොක්කෝ ඉන්නවා. මම වෙලාවට කියන්නම්. එතකන් ඉන්න.'' පිල්මාරුව සඳහා මන්ත්‍රීවරුන්ට කපුකම් කළ එක් මන්ත්‍රීවරයෙක් තවත් මන්ත්‍රීවරයකුට එසේ කියා තිබේ.

මහින්දානන්ද අලුත්ගමගේ පොහොට්ටුවේ සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවීම සඳහා පැමිණි අයෙකි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව සිටි සමයේ අවසන් කාලයේ ඇමති ධුරයක් නොමැතිව වුවද ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටිමින් ගෝඨාභය රාජපක්ෂට ශක්තිය සැපයූ අයෙකි. ඔහු මෙවර මහනුවර දිස්ත්‍රික්කය බාරගෙන සිටී.

‘“මහනුවර මම බලාගන්නම්. ලොහාන් ඉන්නවා. දිලුම් ඉන්නවා. අපිට මහනුවර ගොඩදාන්න පුළුවන්'' මහින්දානන්ද එසේ කියා තිබුණත් ඊයේ පෙරේදා ඔහු කියා තිබුණේ වෙනත් කතාවකි. "මහනුවර දිස්ත්‍රික්කයේ කෝ යූඑල්පී නායකයෝ. කෝ ආසන සංවිධායකවරු. ඒ ගොල්ලෝ වැඩ කරන්නේ නැහැනේ" මහින්දානන්ද එසේ කීවේය. ‘‘මේකනේ අරය දිනයි - මෙයා දිනයි කියලා සමහරු පස්ස ගහනවා. අපි එහෙම නෑ. අපි අභියෝග බාරගන්න බය නෑ." ෂෙහාන් සේමසිංහ කීවේය.




‘ඔව්! ෂෙහාන් ඇමතිතුමා. සමහරුන්ට දේශපාලනය තේරෙන්නේ නෑනේ. සීයට දෙක තුන තිබිච්ච අය සීයට 20ට 25ට යනකොට ඒක විශේෂයන් කැපිලා පේනවා. සියයට තිහේ ඉන්න කෙනෙක් සියයට හතළිහට - පනහකට ඉස්සෙනකොට ඒක විශේෂයෙන් පේන්නේ නෑ. ඕක තමයි බිමේ යථාර්ථය” මහින්දානන්ද උත්තර බැන්දේ එසේය.


ජනපති ගමට

ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ මෙහෙයුම් කටයුතු තවදුරටත් ගම් මට්ටමට ගෙන යා යුතු බවට එක්සත් ජාතික පක්ෂය හා ජනාධිපතිවරයාට සහය දක්වන අනෙකුත් පාර්ශ්ව ඉකුත් සතියේදී දීර්ඝව සාකච්ඡා කළහ.


“අපි පුළුවන් තරම් ප්‍රචාරක වැඩ ගමට ගෙනියන්න ඕන. මම ගම්පහ වැඩ දැනටමත් පටන්ගෙන තියෙන්නේ.''ඇමති ප්‍රසන්න කීය.

 
සිරිකොතත් වැඩට බහී

ජනාධිපතිවරයාගේ ප්‍රචාරණ වැඩ ගෙනයාම පිළිබඳව සිරිකොත සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ඉකුත්දා කතාබහ කෙරිණි. නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, හිටපු ඇමති මනූෂ නානායක්කාර, පක්ෂ මහලේකම් පාලිත රංගේ ප්‍රධාන විධායක නිලධාරි ශ්‍යාමල් සෙනරත් මේ සඳහා සහභාගී වූහ.

එහිදී මනුෂ ප්‍රචාරක වැඩපිළිවෙළ ගැන කරුණු දැක්වීය. "අපි ගාල්ලේ වැඩේ පටන් ගෙන ආසන ක්‍රියාකාරින් හමුවුණා. ඡන්ද පොළ නියොජිතයන් එක්කත් කතා කළා. පොඩි.... පොඩි රැස්වීම් සෑහෙන ප්‍රමාණයක් දැනටමත් කරල ඉවරයි. ප්‍රසන්න ඇමතිතුමත් ගම්පහ ඒ වගේම වැඩ ටික කරගෙන යනවා. කංචන, මහින්දානන්ද ඇතුළු අනෙක් ඇමතිවරු ටිකත් වැඩ කරගෙන යනවා. ඒවාට හොඳ ප්‍රතිචාර තියෙනවා. හිටපු ඇමති මනුෂ දීර්ඝ විස්තරයක් කරමින් කීය.
එක්සත් ජාතික පක්ෂ පාර්ශ්වයෙන් ගම් මට්ටමින් ක්‍රියාකාරීන් හමුවීම පිළිබඳ වැඩ පිළිවෙළ සැකසීම හිටපු ඇමති මනූෂට බාරවිය.

ඒ අනුව එ.ජ.ප. නියෝජිතයන් මේ සතියේ සිට ගමට ගොස් ජනතාව හමුවීමටත්, ඡන්දපොළ නියෝජිතයන් හමුවීමටත් තීරණය විය.



නාමල් ලංකාව වටා

නාමල් රාජපක්ෂ දැන් ලංකාව පුරාම රැස්වීම සදහා සහභාගි වන අතර පසුගිය සතියේ සිටියේ කුරුණෑගලය. දොඩන්ගස්ලන්ද, මාවතගම, නිකවැරටිය, ගල්ගමුව ප්‍රදේශවල මෙම රැස්වීම් සංවිධානය කර තිබුණේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, යූ.කේ. සුමිත්, සමන්ද්‍රිය හේරත් සහ අනෙකුත් පළාත් සභා හා පළාත්පාලන ආයතන නියෝජිතයන් විසිනි.

"කෙටි දැනුම්දීමකින් තමයි මෙහෙම සෙනගක් අවෙ නේද” නාමල් ජොනීගෙන් ඇසුවේය. ඔව් හැමදෙයක්ම අපට කෙටි කාලෙකින් කරන්න වුණේ. නාමල් ජනාධිපතිවරණයට ඉල්ලන එකත් හදිසියේමනෙ සිද්ධ වුණේ. ජොනී පැවසීය. ඔව් ඒක ඇත්ත හැබැයි නාමල් රාපක්ෂයට බිමේ ලොකු පිබිදීමක් තියෙනවා. මෙසේ කීවේ යූ.කේ. සුමිත්ය. “ඔව් ඒ ගැනනම් තොරතුරු මටත් ආවා.'' නාමල් පැවසීය. ඔව් කුලියාපිටිය ආසනේ මම ගොඩාක් අය එක්ක කතා කළා. ඡන්දය නොදෙන්න හිටපු අය ගොඩක් නාමල් මන්ත්‍රීතුමා නිසා ආපහු ඡන්දෙ දෙනවා කියලා කියනවා. සමන්ට්‍රිය මන්ත්‍රීවරයා පැවසීය.“ඔව් ගමට බහින එක හොඳයි. මොකද අපිට හරි තක්සේරුවක් ගන්න පුළුවන් ගමට බැස්සොත් තමයි අපට තියෙන්නෙ බිම්මට්ටමේ ඡන්ද නාමල් පැවසීය. අපි ගෙයින් ගෙට යන කැම්පේන් එකත් දැන් පටන් අරන් තියෙන්නෙ. නාමල් වැඩිදුරටත් පැවසීය. අපි කාර්යාල විවෘත කිරිම ගැන බැසිල් ඇමතිතුමාගෙන් ඇහුවා. අපි ආසන එකසිය හැටේම අරින්න තීරණය කළා. දැන් කාර්යාල ඉක්මනින් අරින්න ඕනේ. ජොන්ස්ටන් මෙහිදී පැවසීය. ඔව්. ජොනී ඇමතිතුමා ඒ ගැන බලන්න හරියටම එම ආසන 160ම කවර් කරන්න නාමල් රාජපක්ෂ පැවසීය.

දොඩන්ගස්ලන්දට පැමිණි නාමල් මහින්ද ජනාධිපතිවරයා සමග රැස්වීමට කලින් කෙළින්ම ගියේ රිදීවිහාරයට ය. රිදීවිහාරයේ නායක ස්වාමීන්වහන්සේද බැහැදැක නාමල් පැමිණියේ කෙළින්ම දොඩන්ගස්ලන්ද රැස්වීමටය. මෙහිදී නාමල්ට විශාල පිළිගැනීමක් ලැබිණි. ඉන් අනතුරුව සියලු දෙනාම ගියේ නිකවැරටිය ආසනයේ ජොනී සංවිධානය කළ රැස්වීමටය. මෙහිදී නාමල් වටකරගත් පිරිස නාමල්ගේ අතින් අල්ලන්ටත් සෙල්ෆි ඡායාරූප ගැනීමටත් යෑම නිසා එකම ගාලගෝට්ටියක් විය. නාමල් අමාරුවෙන් වාහනයට නැගගත් අතර අම්මා කෙනෙක් දැක නාමල් සිය වාහනයේ ජනේලය පහත් කළේය.



පුතේ මට දෙයක් කියන්න තියෙනවා' ‘මොකක්ද අම්මේ ඒ” නාමල් ඇසීය. ‘පුතේ මේ පාර ඔයා ජනාධිපති වෙනවාමයි. මොකද නිහඬ ඡන්දයක් තියෙනවා. ඒ ඡන්ද හම්බවෙන්නෙ ඔබතුමාට' අම්මා එසේ පැවසීය. 'අපි බලමු අපි කොහොමත් ජයග්‍රහණය බලාගෙන කටයුතු කරන්නෙ. අම්මගේ වචන ආශීර්වාදය ගොඩක් හයියක් නාමල් පැවසීය. ‘ඔය අම්මා ඔය දේ කිවුවෙ හදවතින්මයි' ජොතී නාමල්ට කීවේය.
ජාතික ජන බලවේගය හා සමගි ජන බලවේගය අතර මේ දිනවල දරුණු ගැටුමක් ඇවිළී යමින් තිබේ.

“අපේ පක්ෂය ඉලක්ක කරගෙන දැවැන්ත මඩ සහ අවලාද ව්‍යාපාරයක් දියත් කරනවා. මේවට උත්තර දෙන්න ඕනෑ. නැතිනම් මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් හරි රැවටෙනවා" මාලිමාවේ බදුල්ලේ නායක සමන්ත විද්‍යාරත්න දුරකතන ඇමතුමක් ගෙන වෛද්‍ය නලින්ද ජයතිස්සට කීවේය.

 “ඔව්... ඔව්. අපි ඒකට වැඩපිළිවෙළක් හදලා තියෙන්නේ. ප්‍රශ්නය තියෙන්නේ ඕවට උත්තර දිදී ඉන්න ගියොත් අපිට වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ" නලින්ද ජයතිස්ස උත්තර දුන්නේය. ජනාධිපතිවරයා හා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් අතර වන සංවාදයක් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී.

එහිදී මරික්කාර් ජනාධිපතිවරයාට මෙසේ කියයි. “ ජනාධිපතිතුමනි, කාර් පර්මිට් එකට අත්සන් කරන්නකෝ. අපට නීත්‍යානුකූලව ලැබෙන්නේ ඔච්චරයි”.

එතැනින් නතර නොවුණු මරික්කාර් වැඩිදුරටත් පවසන්නේ, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම කාර් පර්මිට් ගෙන ඒවා විකුණා ඇති බවය.

“ඒ සල්ලි පක්ෂයේ අරමුදලට දාලා එතැනින් ගන්නවා” මරික්කාර් කීවේය.

“ඔයා ඔඩිට් එකක් ඉල්ලන්න. එතකොට ප්‍රශ්නය විසඳෙනවනේ” ජනාධිපතිවරයා කීවේය. මාලිමාවේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් මෙසේ උත්තර දුන්නේය.

“ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය දැකලා කුපිත වෙච්ච සමගි ජන බලවේගයේ පිරිස බොරු අවලාද රැල්ලක් ගහගෙන යනවා. ඔය කාර් පර්මිට් කතාවත් ඒ වගේ එකක්" ඔහු එසේ කියා සිටියේ විපක්ෂයට ලැබුණු කාර් පර්මිට් කතාවත් ඒ වගේ එකක්" ඔහු එසේ කියා සිටියේ විපක්ෂයට ලැබුණු කාර් පර්මිට් ගණන හා එයින් පක්ෂය ලබාගත් කාර් පර්මිට්වල ගණන් හිලව් ද ඇතැතිවය. ඉලංගයි තමින් අරසු කච්චි පක්ෂයේ පැහැදිලි බෙදීමක් දැන් දක්නට ලැබේ. බෙදීම සිදුවූයේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමට යාමත් සමගය.

“අපි ජනාධිපතිවරණයට උතුරෙන් දෙමළ පොදු අපේක්ෂකයෙක් දානවා” උතුරේ පක්ෂ මුලින් කීවේ එහෙම කතාවකි.

පී අරියනේන්දිරන් මහතා ප්‍රකාශ කළේ, තමන් එම දෙමළ පොදු අපේක්ෂකයා බවය. කෙසේ වෙතත් උතුරේ පක්ෂ අතර මත ගැටුමක් ඇති වූයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙනි.

“අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහාය දිය යුතුයි" පක්ෂයේ ඇතැමෙක් කීහ.

“මේ වෙලාවේ රැල්ල තියෙන්නේ සජිත්  ප්‍රේමදාසට, අපි එයාට සහාය දෙමු" තව පිරිසක් ප්‍රකාශ කළහ.

මේ අතරවාරයේ තමිල් අරසු කච්චි පක්ෂයේ එම්. සුමන්තිරන්මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේදී අපේ පක්ෂයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බවය.

“මේක පක්ෂයේ ඒකමතික තීන්දුවක්. ඒ වගේම දෙමළ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී සිටින අරියනේන්දිරන් මහතාට සහයෝගය නොදෙන්නත් අපි තීරණය කළා" ඔහු එසේ කීවේය.

එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වන මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කළේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට පක්ෂය තීරණය කළා යැයි කීම පක්ෂයේ නිල මතය නොවන බවය.

“ඒක එක්කෙනකුගේ දෙන්නකුගේ තීරණයක්. එහෙම නැතිව පක්ෂයේ තීරණයක් නොවේ” ඔහු තවදුරටත් කීවේය.

ඒ අනුව බලන විට ජනාධිපතිවරණයත් සමග අර්බුදයට නොගිය පක්ෂයක් සොයාගත නොහැකිය.

(පන්දමා)