sunil-kumara-gamage-speaks

මෙරට බංකොලොත් වීමට විවිධ ආකාරයෙන් සහය දැක්වූ “උස නම් සිකියුරිටි, මිටි නම් කම්කරු“ න්‍යායෙන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම් හඳුන්වා දුන් ජනාධිපති අපේක්ෂකයින්ට නොරැවටෙන ලෙස අවධාරණය කෙරේ.



ජාතික විද්වත් සංවිධානයේ සාමාජික වරලත් ගණකාධිකාරී සුනිල් කුමාර ගමගේ මේ බව අවධාරණය කරමින් මාධ්‍ය හමුවේ තව දුරටත් කරුණු පැහැදිලි කළ අයුරු පහත දැක්වේ.

අපේ රට බංකොලොත්භාවයට හෙළා ඇති බව අපි හැමෝම දන්නවා. ඊට බලපෑ ප්‍රධාන හේතුව නාස්තිය, දූෂණය, හොරකම වගේ දේවල්. අපේ රටේ තිබුණු ගෞරවනීය රාජ්‍ය සේවය මෙතෙක් සිටි පාලකයන් විසින් බිඳවට්ටා තිබෙන පසුබිමක ජනාධිපතිවරණය වෙනුවෙන් සූදානම් වෙනවා. එහි තැපැල් ඡන්දය හතරවැනිදා සිට ආරම්භ කෙරෙනවා. මේ ඡන්දය නැවත ගෞරවාන්විත රාජ්‍ය සේවයක් ඇති කිරීමට පාවිච්චි කරන්නේ කොහොමද කියන දේ සාකච්ඡා කළ යුතු වෙනවා.

මේ වන විට ජනාධිපති අපේක්ෂකයන් තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත්කර තිබෙන පසුබිමකයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ. රට බිඳ වැටුණු ආකාරය මේ ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශන ඇතුළින් තේරුම් ගන්නේ කොහොමද? සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ “රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම්, උසස්වීම් සඳහා සුදුසුකම් සහ හැකියා කුසලතා සලකා බැලෙන විනිවිද පෙනෙන ක්‍රමවේදයක්” ස්ථාපිත කරනවා කියලා සඳහන් වෙනවා. මේ වගේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන අයම තමයි, උස නම් සිකියුරිටි, මිටිනම් කම්කරු න්‍යායයෙන් ගස් යට වාඩිවෙලා තනතුරු බෙදන්න කතා කළේ. මේ අයගේ භාවිතය සහ ඉදිරිපත් කරන ප්‍රතිපත්ති අතර පවතින ගැටුම අවබෝධ කර ගත යුතුයි.