tamil-vote-election

 2024 සැප්තැම්බර් 21 වැනි දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ශ්‍රී ලාංකේය දෙමළ ජනතාවගේ ප්‍රමුඛතම දේශපාලන පක්ෂය ලෙස සැලකෙන ඉලංකෙයි තමිල් අරසු කච්චි (අයි. ටී.ඒ.කේ.) පක්ෂය, සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරන බව ප්‍රකාශ කර ඇත. එම පක්ෂයේ මධ්‍යම කෘත්‍යාධිකාරී මණ්ඩලය සැප්තැම්බර් 1 වැනිදා රැස්වී ජනාධිපතිවරණයේදී විපක්ෂ නායකවරයාට සහාය දැක්වීමට තීරණය කළේය. ෆෙඩරල් පක්ෂය(එෆ්.පී.) ලෙස ඉංග්‍රීසියෙන් හැඳින්වෙන අයි.ටී.ඒ.කේ. පක්ෂය පොදු දෙමළ ජනාධිපති අපේක්ෂක පාකියසෙල්වම් ආරියනේදිරන්ට විරුද්ධ වීමට තීරණය කළ අතර ඔහුගේ අපේක්ෂකත්වය ඉල්ලා අස්කර ගන්නා ලෙස ඔහුගෙන් ඉල්ලීමක් කර ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආරියනේන්දිරන් අයි.ටී.ඒ.කේ. අයි.ටී.ඒ.කේ. පක්ෂයේ නිලධාරියකු වශයෙන්ද කටයුතු කරයි.


2024 ජනපතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ අපේක්ෂකත්වයට සහාය දක්වන බව ප්‍රකාශයට පත් කළ ශ්‍රී ලංකාවේ සුළුතර ජනවාර්ගිකයන්ගේ අවශ්‍යතා නියෝජනය කරන ප්‍රමුඛතම දේශපාලන පක්ෂ අතරින් අන්තිමයා වන්නේ අයි.ටී.ඒ.කේ. පක්ෂයයි. මැතිවරණයේදී සජිත්ට සහාය දක්වන අනෙකුත් ප්‍රධානතම දෙමළ හා මුස්ලිම් පක්ෂ වන්නේ මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානය (ටී.පී.ඒ.), රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (එස්.එල්.එම්.සී.) සහ රිෂාඞ් බදුයිදීන් විසින් නායකත්වය දෙන සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය (ඒ.සී.එම්.සී.) යන පක්ෂයි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාට දැන් ප්‍රධාන දෙමළ හා මුස්ලිම් පක්ෂවල සහාය ලැබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.


2024 ජනාධිපතිවරණය ළං වන විට, බොහෝ දෙනෙකු අනුමාන කළේ, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයේදී මුස්ලිම් හා දෙමළ ඡන්දවලින් වැඩි ප්‍රමාණයක් ලබාගනු ඇති බවටය. එයට හේතුව රනිල් වික්‍රමසිංහ වසර ගණනාවක් තිස්සේ සුළු ජාතීන්ට හිතකර ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නකු ලෙසින් කීර්තියක් අත්කරගෙන සිටීම සහ දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර සැලකිය යුතු සහයෝගයක් ඔහු ලබා ගෙන තිබීමයි. එපමණක් නොව සමහර සුළුතර ප්‍රජා පක්ෂ ඔහු ප්‍රමුඛ ආණ්ඩුවේ කොටස්කරුවන්ද විය. තවද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙන්ම සමගි ජන බලවේගයෙන් කැඩී ගිය ඇතැම් බලගතු මන්ත්‍රීවරුද ඊට සහයෝගය දැක්වූහ.





2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සහ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසය වැනි පක්ෂ තරග වැදුණේ සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේග සන්ධානයේ කොටස්කරුවන් ලෙසින් දුරකථනය ලකුණ යටතේ ය. ඔවුහු දිගටම විපක්ෂයේ රැඳී සිටියහ. කෙසේ වෙතත් බොහෝ දෙනකුගේ අදහස වූයේ මැතිවරණයට දින ප්‍රකාශයට පත් කරන විට මෙම පක්ෂ රනිල්ගේ පැත්තට මාරු වනු ඇති බවය. මේ අනුව සුළුතර ප්‍රජාවගේ මහා පරිමාණ සහයෝගය ගැන විශ්වාසයෙන් සිටි රනිල් වික්‍රමසිංහ කඳවුර උද්‍යෝගිමත් මනෝභාවයක සිටියේය.

එහෙත් සුළු පක්ෂවල මෙම අපේක්ෂිත පැත්ත මාරු කිරීම සිදු වූයේ නැත. මුස්ලිම්වරුන් නියෝජනය කරන එස්.එල්.එම්.සී. සහ ඒ.සී.එම්.සී. සහ කඳුකරයේ දෙමළ ජනතාව නියෝජනය කරන ටී.පී.ඒ. ය පැත්ත මාරු කරනවා වෙනුවට සජිත් ප්‍රේමදාස සමඟ දිගටම රැඳී සිටීමට තීරණය කළේය. ප්‍රේමදාස සමග මෙම පක්ෂ වෙනම ගිවිසුම් අත්සන් කර සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයට එක්විය. දැන් අයි.ටී.ඒ.කේ. පක්ෂයත් අවබෝධතා ගිවිසුමක් අත්සන් නොකරම සජිත්ට සහාය ප්‍රකාශ කර ඇත. ඒ අනුව මෙම පක්ෂවල සහයෝගය ඇතිව දෙමළ හා මුස්ලිම් ඡන්දවලින් වැඩි ප්‍රමාණයක් සජිත් ප්‍රේමදාස ලබා ගන්නා බවක් පෙනෙන්නට තිබේ.

 

කෙසේ වෙතත්, මෙම සුළු ජාතික ප්‍රජා දේශපාලන පක්ෂවල සහයෝගය නිසා සජිත් ප්‍රේමදාස මහතාට දෙමළ හා මුස්ලිම් ඡන්දවල ඒකාධිකාරයක් හිමිවන බවක් මින් අදහස් නොවේ. මුලින්ම මේ පක්ෂවලට පසුගිය කාලයේ කළාක් මෙන්, ජනතාවගේ ඡන්ද ගොඩම ලබාදීමට හැකියාවක් ලැබේද අවිනිශ්චිතය. ඊට හේතුව දෙමළ සහ මුස්ලිම් ඡන්දදායකයන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවකට ඔවුන්ටම ආවේණික වූ දැඩි මත ඇති බවත්, ස්වාධීනව ඡන්දය ප්‍රකාශ කරන බවත් හඳුනාගත හැකි දර්ශක පෙනෙන්නට තිබීමයි. වඩාත් වැදගත් වන්නේ පක්ෂ නායකයන්ගේ ස්ථාවරය නොතකා, රනිල් වික්‍රමසිංහ පිළිබඳව ඇති ධනාත්මක ප්‍රතිරූපය ඔහුට පක්ෂ ඡන්දවලට බලපෑම් කිරීමට ඉඩකඩ තිබීමයි.

 

රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ගත් කල, ඔහුට ද දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර ඔහුටම ආවේණික ආධාර පදනමක් ඇත. සෙන්දිල් තොණ්ඩමන් විසින් නායකත්වය දෙන ලංකා කම්කරු කොංග්‍රසය (සී. ඩබ්ලිව්.සී), ඩග්ලස් දේවානන්දගේ නායකත්වයෙන් යුත් ඊළාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ඊ.පී. ඩී.පී.). සිවනේෂතුරෙයි ශාන්තිරකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් යුත් තමිල් මක්කල් විදුතලයිප් පුලිගල් (ටී.එම්.වී.පී.) සහ ඒ. එච්. එම්. අතාවුල්ලා ගේ නායකත්වයෙන්  යුතු ජාතික කොංග්‍රසය (එන්.සී.) ද රනිල් ට සහාය දෙන අතර, මේ පක්ෂවලට අමතරව, තනි තනිව රනිල්ට සහාය දෙන දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ද සිටිති.


පක්ෂවලින් සහයෝගය ලැබුණද, ජනාධිපතිවරයාට සහාය දෙන පක්ෂවලට වඩා විපක්ෂ නායකයාට සහය දෙන පක්ෂ විශාල බැවින් සුළු ජාතික ඡන්ද ලබාගැනීමේදී රනිල් වික්‍රමසිංහට වඩා වැඩි වාසියක් ඇත්තේ සජිත් ප්‍රේමදාසට යන කාරණයද ප්‍රතික්ෂේප කළ නොහැක. එසේ වුවද, මෙම පක්ෂ විසින් සපයනු ලබන සහයෝගය සෑම විටම ඒකාකාර නොවේ. ඊට හේතුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ඇතැම් බලගතු පාක්ෂිකයන් මේ වන විටත් තම පක්ෂ නායකයන්ට අභියෝග කරමින් වික්‍රමසිංහට සහාය දක්වන බව ප්‍රකාශ කර තිබීමයි.




මෙම සන්දර්භය තුළ සඳහන් කළ යුතු වැදගත් දේශපාලන ව්‍යාපාරයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) ප්‍රමුඛ ජාතික ජන බලවේග සන්ධානයයි. ජවිපෝජාතික ජන බලවේගය ඔවුන්ගේ නායක සහ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට සුළු ජාතික පක්ෂවලින් සෘජු සහායක් බලාපොරොත්තු වන්නේ නැත.


ඒ වෙනුවට එම පක්ෂය දෙමළ සහ මුස්ලිම් ජනතාව වෙත ඍජුව සම්බන්ධ වෙමින් ඔවුන්ගෙන් ඉල්ලීමක් කර ඇත. ජවිපෝජාතික ජන බලවේගය විසින් දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ගෙන් සාමාජිකයන් බඳවාගෙන මේ වන විට නැගෙනහිර කාත්තන්කුඩි ඇතුළු දෙමළ සහ මුස්ලිම් ජනයා බහුලව වෙසෙන ප්‍රදේශවල සිය පක්ෂ කාර්යාල විවෘත කර ඇත. සජිත්ගේ හෝ රනිල්ගේ සීමාවේ නැතත් ඒ.කේ. දිසානායකටද සැලකිය යුතු දෙමළ හා මුස්ලිම් ඡන්ද සංඛ්‍යාවක් ඡන්දයේදී ආකර්ෂණය වනු ඇති බවක් පෙනෙන්නට තිබේ.


ඉදිරි මැතිවරණයේදී උතුරු නැඟෙනහිර මෙන්ම කඳුරට දෙමළ ජනතාවගේ විභව ඡන්ද රටාව පිළිබඳව මෙම තීරුව අවධානය යොමු කරන්නේ මෙවැනි පසුබිමක් තුළය. දෙමළ ජනතාව නියෝජනය කරන විවිධ දේශපාලන පක්ෂ සජිත් ප්‍රේමදාස මහතාට සහ රනිල් වික්‍රමසිංහ මහතාට දක්වන සහයෝගය පිළිබඳව විශේෂ අවධානයක් මෙමගින් යොමු කෙරේ. අපගේ සහෝදර පුවත්පත වන “ඩේලි එෆ්ට” පුවත්පත සඳහා මා කලින් ලියූ ලිපියකදී (2024 අගෝස්තු 23) මුස්ලිම් ඡන්දදායකයන් සහ 2024 ජනාධිපතිවරණය ගැන පුළුල් ලෙස කරුණු පැහැදිලි කිරීමක් කර ඇත. එබැවින් මෙම ලිපියෙන් දෙමළ ඡන්දදායකයන් සහ ඔවුන් ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ ඇති ආකාරය පිළිබඳව අවධානය යොමු කර ඇත. ප්‍රශ්නය වනුයේ දෙමළ ඡන්දවලින් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ සජිත්ට ද? නැතිනම් රනිල්ට ද? යන්නයි.


ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ජාතිකයන් කඳුරට දෙමළ (මලය ගත් තමිසාර්) ලෙස හඳුන්වනු ලබන අතර, ඔවුන් සංඛ්‍යාත්මකව සුළුතර ජනවාර්ගික කණ්ඩායම් තුනෙන් කුඩාම (4.1%) කණ්ඩායම මෙන්ම දිවයිනේ සිව්වැනි විශාලතම ජනවර්ගය වේ. ඔවුන්ගෙන් බහුතරයක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වාසය කරන අතර, බදුල්ල, මහනුවර, මාතලේ, කෑගල්ල, රත්නපුර, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල සැලකිය යුතු සුළුතරයක් වෙසෙයි.


උඩරට දෙමළ ජනතාව නියෝජනය කරන විශාලතම වතු කම්කරු සංගමය සහ ප්‍රධාන දේශපාලන පක්ෂය වන්නේ ලංකා කම්කරු කොංග්‍රසයයි. සී.ඩබ්ලිව්. සී. යනු 2022 සිට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන අතර, එහි ශාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනකු සිටිති. ඒ නුවරඑළියෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජීවන් තොණ්ඩමන් සහ මරුතුපාන්ඩි රාමේෂ්වරන් ය. සී.ඩබ්ලිව්.සී. පක්ෂයේ මහ ලේකම් වශයෙන් කටයුතු කරන ජීවන් තොණ්ඩමන් කැබිනට් අමාත්‍යවරයකු වන අතර, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙයි.


වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700 ක් දක්වා වැඩි කිරීම, නිවාස සහිත නගර පිහිටුවීමට මුල් පිරීමක් ලෙසින් ලයින් කාමර වල අයිතිය එහි පදිංචිකරුවන්ට ලබා දීම සහ “අස්වැසුම” දිළිඳු සහන දීමනා යෝජනා ක්‍රමය වතුකරයට ව්‍යාප්ත කිරීම වැනි ක්‍රියාමාර්ග කිහිපයක් හරහා වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෑත කාලයේ පොදුවේ කඳුරට දෙමළ ජනතාවටත් විශේෂයෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයටත් අනුග්‍රහය දැක්වීය. එසේම සී.ඩබ්ලිව්. සී. ය රනිල් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇති අතර, එම පක්ෂය මැතිවරණයේදී ඔහුට දැඩි ලෙස සහාය දක්වනු ඇත.


ලංකා කම්කරු කොංග්‍රසය කඳුරට දෙමළ ජනතාවගේ ප්‍රමුඛතම පක්ෂය වුව ද, එයට පාර්ලිමේන්තු ආසනවල ඒකාධිකාරයක් නොමැත. ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවේ වැඩිම උඩරට දෙමළ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සිටින්නේ දෙමළ ජනතා සන්ධානය (ටී. පී.ඒ.) ටය. ටී.පී.ඒ. ය යනු මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ (ඩී.පී.ඒ.), පලනි දිගම්බරම්ගේ නායකත්වයෙන් යුත් කම්කරු ජාතික සංගමය (එන්.යූ.ඩබ්ලිව්) සහ වී. රාධක්‍රිෂ්ණන් විසින් නායකත්වය දෙන උඩරට ජනතා පෙරමුණ (යූ.සී.පී.එෆ්.) යන පක්ෂ තුන එකතුව පිහිටුවා ගෙන ඇති සන්ධානයකි. මනෝ ගනේෂන් ටී.පී.ඒ. නායකයා වන අතර දිගම්බරම් සහ රාධ ක්‍රිෂ්ණන් ඒකාබද්ධ නියෝජ්‍ය නායකයෝ වෙති. ටී.පී.ඒ. 2020 පාර්ලිමේන්තු මැතිවරණයට සමගි ජන බලවේගය නියෝජනය කරමින් තරග කර ආසන හයක් ලබා ගත්තේය. ඒ නුවරඑළියෙන් තුනක්, බදුල්ල, මහනුවර සහ කොළඹ එක බැගින් ය.




බදුල්ලෙන් තේරී පත් වූ එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අරවින්ද කුමාර් 2020 දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවට එකතු වීම නිසා ඔහුව පක්ෂයෙන් නෙරපා හරින ලද අතර, දැන් ඔහු රනිල් ප්‍රමුඛ රජයේ රාජ්‍ය ඇමැතිවරයෙකි.ටී.පී.ඒ. පක්ෂය සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය සමඟ විපක්ෂයේ රැඳී සිටියද, සමගි ජන බලවේගය තුළ අතෘප්තියේ ඝෝෂාවන් සහ අතෘප්තිකර මැසිවිලි නැඟීම් ඇති විය. ජනාධිපතිවරණය ළං වන විට ටී.පී.ඒ. පක්ෂය සජිත්ගේ පාර්ශ්වයෙන් රනිල් වෙත මාරු වීමට ඉඩ ඇති බවට අනුමාන පළ වුවත්, එය සිදුවූයේ නැත.


ටී.පී.ඒ. පක්ෂය සහ ලංකා කම්කරු කොංග්‍රසය එක්ව රනිල්ට සහය දෙනවා නම් පාර්ලිමේන්තු මැතිවරණයේදීත් ඔවුන් එකට තරග කළ යුතු අතර, එසේ වුවහොත් දෙපාර්ශ්වයේම මන්ත්‍රී සංඛ්‍යාව අඩු විය හැකිය. වඩා හොඳින් ස්ථාපිත සී.ඩබ්ලිව්.සී. යට ටී.පී.ඒ. ට වඩා ඔවුන්ගෙන් නාමයෝජනා ලැබුණු වැඩි පිරිසක් තේරී පත්වීම සහතික කළ හැකිය. ටී.පී.ඒ. පක්ෂය රනිල්ගේ පැත්තට යනවාට වඩා සජිත් එක්කම ඉන්නට පෙළඹුණේ මේ පාර්ලිමේන්තු මැතිවරණ ගණන් බැලීම නිසාය.


කොළඹදී මනෝ ගනේෂන්ටද එම හේතුව අදාළය. දිස්ත්‍රික්කයේ විශාල ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන මන්ත්‍රීවරුන් රැසකට හිමිකම් කියන පක්ෂයකින් හෝ සන්ධානයකින් මනෝ ගනේෂන් තරග කළ යුතුය. මනෝට දෙමළ ඡන්ද මත පමණක් විශ්වාසය තබා සාපේක්ෂව අඩු මනාපයකින් තේරී පත් විය හැක්කේ එවිටය. මනෝ පසුගිය කාලයේ එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගතව සිටි අතර, 2020 දී එජාපය ඉතා දුර්වල ලෙස ඉදිරියට යන බව දැනී ඔහු සමගි ජන බලවේගය වෙත මාරු විය. ඔහු කොළඹදී දිනුවේ ඉන් පසුවය.


එබැවින් කොළඹ දිස්ත්‍රික්කය රනිල්ට පක්ෂව ඡන්දය

නොදෙන බව මනෝ ගනේෂන් ඇතුළු දෙමළ ජනතා සන්ධානයේ අදහස වී ඇති බව පෙනෙන්ට තිබේ. දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව සජිත් සහ අනුර ලබා ගැනීමට ඉඩ තිබේ. එබැවින් පොදුවේ ටී.පී.ඒ. සහ ගනේෂන් විශේෂයෙන් කැමති වන්නේ සජිත්ට ජනාධිපතිවරණයේදී සහය දී පසුව පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජන බලවේගය / සමගි බල සන්ධනානය නියෝජනය කරමින් තරග කිරීමටයි.


එබැවින් ටී.පී.ඒ. ය සජිත් ප්‍රේමදාස සමඟ කරුණු 56 කින් යුත් ප්‍රඥප්තියකට අත්සන් කර ඔහුට සහාය දෙන බවට පොරොන්දු විය.


සජිත්ට සහය දෙන දෙන ටී.පී.ඒ. ද මේ වන විට සෘණාත්මක කඩා වැටීමකට ලක් වී ඇත. ටී.පී.ඒ. හි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් පක්ෂ තීරණයට එරෙහිව කැරලි ගැසූ අතර, ඔහු රනිල් වික්‍රමසිංහ සමඟ වෙනම ගිවිසුමක් අත්සන් කර ඔහුගේ අපේක්ෂකත්වයට සහාය පළ කිරීමට තීරණය කර ඇත. 2020 දී මන්ත්‍රීවරුන් හය දෙනකු සිටි ටී.පී.ඒ. පක්ෂයට දැන් සිටින්නේ හතර දෙනකු පමණකි.

වෙනම වර්ධනයක දී, ලංකා ජාතික වතු කම්කරු සංගමයේ (එල්.ජේ.ඊ.ඩබ්ලිව්.යූ) බලගතු ලේකම්වරයා වන බදුල්ල මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ගේ ක්‍රියාකලාපයෙන් රනිල්ට යම් වාසියක් ලැබුණි. 2020 දී රනිල් හැරදා සජිත් සමග එක්වීමට තීරණය කළ සුරේෂ් පසුව සජිත් සමග විරසක විය. ඔහු දැන් නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්ව සිටින අතර කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසද පත් විය.


මේ අනුව, සී.ඩබ්ලිව්.සී., එල්.ජේ.ඩබ්ලිව්යි. මෙන්ම අරවින්දකුමාර් සහ වේලු කුමාර් වැනි මන්ත්‍රීවරුන් රනිල්ට සහාය දැක්වීම හේතුවෙන් "මලෙයි ගත් තමිසාර්" (කඳුකරයේ දෙමළ) ඡන්ද දායකයන් අතර රනිල් ශක්තිමත් පදනමක සිටින බව පෙනෙන්නට තිබෙන අතර, ඉන්දීය දෙමළ ඡන්ද සජිත්ට වඩා රනිල්ට ලැබීමට බොහෝ දුරට ඉඩ තිබේ.


ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් දිවයිනේ දෙවැනි විශාලතම (11.1%) ජන වර්ගය වන අතර, සුළුතර ප්‍රජාවන් තුනෙන් විශාලතම ප්‍රජාවද වේ. ඔවුන් යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වව්නියාව, මුලතිව් සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල බහුතරය වේ. එසේම ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දෙවන විශාලතම ජනවර්ගය වන අතර අම්පාර දිස්ත්‍රික්කයේ තුන්වැනි විශාලතම ප්‍රජාව ද වේ. ශ්‍රී ලාංකික දෙමළ ජනතාව කොළඹ, ගම්පහ, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවල ද සැලකිය යුතු සුළුතරයකි.


ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ප්‍රමුඛතම දේශපාලන වින්‍යාසය මෑතක් වන තුරුම දෙමළ ජාතික සන්ධානය (ටී.එන්.ඒ.) වූ අතර, එය 2020 මැතිවරණයේදී ආසන දහයක් ලබා ගත්තේය. ටී.එන්.ඒ. නියෝජනය කළ පක්ෂ තුනෙන් දෙකක් මේ වන වන විට ඉන් ඉවත් වී ඇති අතර, ටෙලෝ සහ ප්ලොට් යන පක්ෂ ඊපීආර්එල්ඵෆ් ඇතුළු තවත් පක්ෂ තුනක් සමඟ එක්වී ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය (ඩී. ටී.එන්.ඒ.) නමින් නව සන්ධානයක් පිහිටුවා ගෙන ඇත. ටී.එන්.ඒ. ප්‍රධාන සංඝටකය වන ඉලන්කෙයි තමිල් අරෂුක් කච්චි (අයි.ටී.ඒ.කේ.) පක්ෂය දැන් තනිව සිටී. දෙමළ ජාතික සන්ධානයේ මුල් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනාගෙන් අයි.ටී.ඒ.කේ. පක්ෂයට මන්ත්‍රීවරුන් හය දෙනෙකු සිටි අතර ටෙලෝ සහ ප්ලොට් පක්ෂයට පිළිවෙලින් තිදෙනෙකු සහ එක් මන්ත්‍රීවරයකු සිටී.


මේ වන විට ඩී.ටී.එන්.ඒ. පක්ෂ පහ සහ තවත් පක්ෂ දෙකක් පොදු දෙමළ ජනාධිපති අපේක්ෂක පාකියසෙල්වම් ආරියනේදිරන්ට සහය පළ කර ඇත. 69 හැවිරිදි ආරියනේතිරන් 2004 සිට 2015 දක්වා මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රීවරයා ලෙස කටයුතු කර ඇති අතර, ඔහු තේරී පත් වූයේ අයි. ටී.ඒ. කේ. පක්ෂයෙනි. ආරියනේදිරන්ට දෙමළ පක්ෂ හතක සහය හිමිවුණත්, මේ පක්ෂ වලින් සමහරක් ඔහුට අවංකව සහාය දෙනවාද යන්න ගැන සැකයක් මතුව ඇත. ඇතැම් පාර්ශ්ව රනිල්ට හොර රහසේ සහාය දෙන බවට කටකතා පැතිර යමින් තිබේ.




2022 ජනාධිපතිවරණයේදී එවකට එක්සත්ව තිබූ දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහට නොව ඩලස් අලහප්පෙරුමට සහය පළ කරන බව ප්‍රකාශ කළේය. එහෙත් මන්ත්‍රීවරුන් දස දෙනාගෙන් හතර දෙනෙකු පමණක් ඩලස්ට ඡන්දය දී ඇති බවට තහවුරු නොකළ වාර්තා තිබේ. ඉතිරිය එක්කෝ රනිල්ට ඡන්දය දී ඇත. නැතිනම් තමන්ගේ ඡන්දය

කටු ගා ඇත. දෙමළ ජාතික සන්ධානයේ ඇතැමුන් තමන්ට ඡන්දය දුන් බව රනිල්ම විහිළුවෙන් ඉඟි කළේය.



මේ අතර පාර්ලිමේන්තුවේ තනි විශාලතම ශ්‍රී ලාංකික දෙමළ පක්ෂය වන අයි.ටී.ඒ.කේ. ය සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කර තිබේ. මෙය සජිත්ට අති විශාල ශක්තියක් වන අතර, රනිල්ට වැදුණු මරු පහරක් ලෙසින්ද හැඳින්විය හැකිය. එහෙත් අයි. ටී.ඒ.කේ. ය මේ වන විට කඳවුරු දෙකකට බෙදී ඇත. එක් අයෙක් ශිවඥා නම් ශ්‍රී දරන්ට සහාය දෙන අතර අනෙකා මතියාපරණන් ඒ බ්‍රහම් සුමන්තිරන්ට සහාය දක්වයි. තවද අයි.ටී.ඒ.කේ. ය දැනට නීතිමය පටලැවිල්ලකටද මුහුණ පා ඇත.


කලින් සඳහන් කළ පරිදි සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වීමට අයි.ටී.ඒ.කේ. මධ්‍යම කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයකට එළැඹ ඇත. අයි.ටී.ඒ.කේ. ප්‍රබලයකු වන ආරියනේදිරන්ට සිය ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා අස්කර ගන්නා ලෙස පක්ෂය විසින් දැනුම් දී ඇත. යාපනය මන්ත්‍රී ශ්‍රීදරන් සහ ත්‍රිකුණාමලයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂන්මුගම් කුගතාසන් ඇතුළු අයි.ටී.ඒ.කේ. හි බොහෝ දෙනකු මධ්‍යම කාරක සභා තීරණය නොතකා, පොදු දෙමළ අපේක්ෂක ආරියනේදිරන්ට සහය දැක්වීමට ඉදිරිපත්ව ඇත. අයි.ටී.ඒ.කේ. තුළ ප්‍රබල කණ්ඩායමක් ප්‍රේමදාසට එරෙහිව ආරියනේදිරන්ට සහාය දක්වනු ඇති බව පෙනෙන්නට තිබේ. පසුගිය සතියේ මෙම තීරුවේ සඳහන් කර ඇති පරිදි බරපතල ලෙස බෙදී ඇති අයි.ටී.ඒ.කේ. ය මේ වන විට ස්ථිර බිඳීමක් කරා ගමන් කරමින් සිටී.



අයි.ටී.ඒ.කේ. අභ්‍යන්තර අර්බුදය සජිත් ප්‍රේමදාසට ද අහිතකර ලෙසින් බලපානු ඇත. සජිත් ප්‍රේමදාසට එකමුතුව සහ උද්‍යෝගිමත් ලෙස සහයෝගය දැක්වීමට අයි.ටී.ඒ.කේ. හට නොහැකි වනු ඇත. තවද අයි.ටී.ඒ.කේ. හි ආරියනේ දිරන් හිතවාදී කොටස් සජිත්ට සක්‍රීයව විරුද්ධ වනු ඇති අතර, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව වැනි දිස්ත්‍රික්කවල දැනටමත් අයි.ටී.ඒ.කේ. සාමාජික සහභාගීත්වයෙන් පාකියසෙල්වම් ආරියනේදිරන්ට සහය පළ කිරීමේ රැස්වීම් පවත්වා ඇත.


අයි.ටී.ඒ.කේ. මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් නිතර ප්‍රකාශ කරන්නේ 2010, 2015 සහ ජනාධිපතිවරණවලදී උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව ඔවුන්ගේ මාර්ගෝපදේශවලට අවනතව සරත් ෆොන්සේකා, මෛත්‍රීපාල සිරියන සහ සජිත් ප්‍රේමදාසට ඡන්දය දුන් බවය. අයි.ටී.ඒ.කේ. ඉල්ලීමට දෙමළ ජනතාව විශාල වශයෙන් යහපත් ප්‍රතිචාරයක් ලබා දී සැප්තැම්බර් 21 වැනිදා ප්‍රේමදාසට ඡන්දය දෙයිද යන්න බලා සිටිය යුතුය.

මතක තබා ගත යුතු වැදගත් දෙය නම්, අයි. ටී.ඒ.කේ. ය එක් සිංහල අපේක්ෂකයකු වෙනුවට, තවත් සිංහල අපේක්ෂකයකුට ඡන්දය දෙන ලෙසට දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටීම එක දෙයක් වන නමුත්, පොදු දෙමළ අපේක්ෂකයා ලෙසින් හැඳින්වෙන අපේක්ෂකයාට වෙනුවට සිංහල පක්ෂ අපේක්ෂකයෙකුට ඡන්දය දෙන ලෙස දෙමළ ජනතාවගෙන් ඉල්ලීම තවත් දෙයක් වන බව ය.


රනිල්ට මේ වන විට ඇති ප්‍රබලම විශ්වාසය වන්නේ ඔහුගේම එජාපයට අමතරව, දෙමළ පක්ෂ දෙකක් ඔහුට සහාය ලබා දීමය. ඩග්ලස් දේවානන්දගේ නායකත්වයෙන් යුත් ඊ.පී.ඩී.පී. සහ ශාන්තිරකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ නායකත්වයෙන් යුත් ටී.එම්. වී.පී. යද වික්‍රමසිංහ ආණ්ඩුවේ කොටසකි. දේවානන්ද කැබිනට් ඇමතිවරයෙකු වන අතර පිල්ලෙයාන් රාජ්‍ය ඇමතිවරයෙකි. ඊ.පී.ඩී.පී. යට තේරී පත් වූ මන්ත්‍රීවරු දෙදෙනෙක් සිටිති. මඩකලපුවෙන් වැඩිම මනාප ගත්තේ ටී.එම්.වී.පී. යේ පිල්ලෙයාන් ය. දේවානන්දට උතුරේ ඇත්තේ සීමිත එහෙත් ස්ථාවර ඡන්ද බැංකුවකි.


2018 වසරේදී දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වූ මඩකලපුව පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්ද්‍රන් මේ වන විට රාජ්‍ය අමාත්‍යවරයෙකි. ඔහුත් රනිල්ට සහාය දෙයි. 2020 වසරේදී ශ්‍රී.ල.නි.ප.ය න් තේරී පත් වූ එකම මන්ත්‍රීවරයා වූ අංගජන් රාමනාදන් ද රනිල්ට සහාය ද පළ කරන බව ප්‍රකාශ කර ඇති අතර, 2020 වසරේදී යාපනයේ වැඩිම මනාප ගත්තේ අංගජන්ය.


දෙමළ පක්ෂ වලින් රනිල් ට ලැබෙන සහයෝගය සීමාසහිත වුවද, මැතිවරණ දිනයේදී ශ්‍රී ලාංකික දෙමළ ජනතාව වික්‍රමසිංහට බෙහෙවින් සහයෝගය දක්වනු ඇතැයි ඔහුගේ කඳවුර තුළ ශුභවාදී විශ්වාසයක් පවතී. දෙමළ පක්ෂ සහය

නොතකා, දෙමළ ජනතාව වෙත සෘජුව ආයාචනා කර දෙමළ ඡන්ද නෙළා ගැනීමට රනිල්ට හැකියාවක් ඇති බව මෙම කොටස්වල අදහසයි. උතුරු - නැගෙනහිර දෙමළ ජනතාව අතර රනිල් භුක්ති විඳින ධනාත්මක ප්‍රතිරූපය අනුව බැලූ කල මෙම පියවර සාර්ථක එකක් වීමට ඉඩකඩ ඇත.
-ඩී.බී.එස්. ජයරාජ් - (පරිවර්තනය - අනිල් කරුණාරත්න)