තායිලන්තය හෝ මියන්මාරයේ ලාංකිකයන් වෙනුවෙන් පිළිගත් රැකියා නොමැති බව මෙරට ජනතාව අවබෝධ කරගත යුතු බවත් වැඩි පඩි දෙන බව කියා එහි යැවීමට උත්සාහ කරන අයට හසු නොවන ලෙසත් ඔහු මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටී.
කෙතරම් දැනුවත් කළත් මෙම වංචනික රැකියාවලට ලාංකිකයන් තවමත් හසුවෙමින් ඇති බවත් ඔහු කීය.
එවක මියන්මාරයේ මයාවඩි කඳවුරට අලුතෙන් පැමිණි ශ්‍රී ලාංකිකයෙක් තමා ඇවිත් තිබෙන්නේ රූපවාහිනියේ හා මාධ්‍යයේ පෙන්වූ වද දෙන සයිබර් කඳවුරට දැයි තමාගෙන් ඇසූ බවත් ඔහු පැවැසීය.
මේ අනුව 'ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න එපා' යනුවෙන් ඕස්ට්‍රේලියානු රජය ප්‍රචාරය කරන ලෙසටම තායිලන්තයට රැකියාවට යන්න එපා ලෙස රජය ලාංකිකයන් දැනුවත් කළ යුතු බවත් ඒ මහතා පැවැසීය.
මියන්මාරයට හෝ තායිලන්තය වෙත සංචාරය කිරීමට හා රැකියා කිරීමට යන අයට එම රටවල තත්ත්වය ගැන දැනුවත් කිරීම් සිදු කිරීමට අදාළ පාර්ශ්ව තවදුරටත් කටයුතු කළ යුතු බවත් ඔහු පැවැසීය.
තම 20 දෙනකුගෙන් යුතු කණ්ඩායමට ශ්‍රී ලංකාව වෙත ජීවත බේරාගෙන ආපසු පැමිණීමට මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය හා තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය (IOM) උදවු කළ බවත් ඒ සඳහා ඔවුන් බොහෝ වෙහෙස වූ බවත් ඔහු පැවැසීය.
තායිලන්ත - මියන්මාර දේශසීමා අසල මයාවඩි නමැති සයිබර් අපරාධ කලාපයේ බලහත්කාර ශ්‍රම සූරාකෑමට හා අමානුෂික වධ හිංසාවන්ට ලක් වූ ලාංකිකයන් අතරින් 20 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් පසුගිය අගෝස්තු 14දා බේරාගත් අතර ඔවුහු පසුගියදා යළි මෙරටට පැමිණියහ.
මෙම මියන්මාර - තායිලන්ත දේශසීමා අතර මයාවඩි කලාපයේ තවදුරටත් සිරවී සිටින ලාංකිකයන් 33ක් බේරාගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය අදාළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හා තානාපති කාර්යාල මට්ටමින් විශාල උත්සාහයක් දරමින් සිටින් බවත් මේ පිළිබඳ කළ විමසීමේදී එම අමාත්‍යාංශය පැවැසීය.
(සචිත්ර පෙරේරා)
0 Comments