trincomalee-incident

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ප්‍රදේශයක කාන්තාවකගේ නිවෙසකට පෙරේදා (4) මහ රෑ අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ වගකිවයුතු නිලයක් දරන්නකු ඇතුළුවී සිටීම නිසා ප්‍රදේශයේ දැඩි නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම කාන්තාවගේ නිවෙස ඉදිරිපිට පෙරේදා රාත්‍රී 9.30 ට පමණ සැක කටයුතු මෝටර් රථයක් නතර කර තිබෙන අයුරු දුටු ප්‍රදේශවාසී පිරිසක් ඒ ගැන විපරම් කර බැලීමට ගොස් ඇත. මෝටර් රිය් සිටි රියැදුරාගෙන් ප්‍රශ්න කිරීමේදී තමා අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ ඉහළ නිලයක් දරන අයකු සමග පැමිණි බව සදහන් කර ඔහුගේ නම ද හෙළිකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.




ප්‍රදේශවාසීන් මේ බව අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානයට දැනුම් දී ඇත. එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එහි පැමිණ නිවස පරීක්ෂා කිරීමේදී අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ වගකිවයුතු නිලයක් දරන්නකු එම නිවෙසේ සිටින අයුරු දැක ගැනීමට ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. ඉඩම් ආරවුලක් සම්බන්ධ ගැටලුවක් විසඳීමට කාන්තාවගේ නිවෙසට පැමිණි බව අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ වගකිවයුතු නිලයක් දරන ඒම තැනැත්තා පොලිස් නිලධාරීන් සමග පවසා ඇතැයි කියති.


ඒම අවස්ථාවේ නිවෙසේ සිට ඇත්තේ මෙම කාන්තාව පමණක් යැයි ද පොලිසිය පැවැසීය. කාන්තාව පමණක් රැඳී සිටි මෙම නිවෙස අවට එකසිය පනහක පමණ පිරිසක් රැස්ව නොසන්සුන්කාරී ලෙස හැසිරීමෙන් සිටියේ යැයි කියන අතර පසුව පොලිසිය මැදිහත්වී එම පිරිස විසුරුවා හැර අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ වගකිවයුතු නිලයක් දරන අය දැඩි පොලිස් ආරක්ෂාව යටතේ වෙනත් මාර්ගයක් ඔස්සේ පිටත් කර හැරිය බව ද පොලිසිය කීය.

 
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය