vijitha-herath-speaks

 ජනපතිවරණයේ දෙවැනි මනාප ගණනයක් පැනනැගීම හේතුවෙන් තමන්ට ඡන්දය ලබාදුන් පාක්ෂිකයින් දහස් ගණනක් අවිනිශ්චිත මානසිකත්වයට පත්ව ඇති බැවින් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් කරුණු පැහැදිලි කිරීමට ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා කටයුතු කර තිබේ. ඔහු පවසන්නේ කිසිදු බියක් ඇතිකරගත නොයුතු බවත් අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයට මෙම ක්‍රියාවලිය තුළින් බාධාවක් නොවන බවයි.
දැනට මුල් වටයේ ඡන්ද ගණන් කිරීම් අනුව අනුර දිසානායක මහතා ඉහළින්ම ජයග්‍රහණය කර ඇතැයිද දෙවැනි තැන දිනූ අයට වඩා  ලක්‍ෂ දහතුනක වැඩි ඡන්ද ප්‍රමාණයක් අනුර දිසානායක මහතා ලබාගෙන ඇති බවද හෙතෙම පැවසීය.


නමුත් පරතරය එසේ වෙද්දී කිසිදු අපේක්ෂකයෙකු සියයට පනහක ප්‍රමාණය ලබාගෙන නොමැති නිසා දෙවන තුන්වන මනාප ගණන් කිරීමක් මැතිවරණ පනතට අනුව සිදුවන බව හෙතෙම සඳහන් කළේය.
මෙම දෙවැනි තුන්වන මනාප වලින් බලපෑමක් එල්ල කිරීමට හෝ පළවෙනියා අභිබවා දෙවැනියා මතුවීමට මෙතරම් පරතරයක් තුළදී ප්‍රායෝගිකව හැකියාවක් නැතැයි පෙන්වා දෙන මන්ත්‍රීවරයා මෙම ක්‍රියාවලිය අවසන් වන තුරු

අවසන් ප්‍රතිඵලය නිකුත් නොකිරීමට මැතිවරණ කොමිසමක් බැඳී සිටින බැවින් ජයග්‍රහණය ඉවසන්නට සිදුවනු ඇතැයි කියා සිටියේය.
දෙවෙනි මනාපයේ ප්‍රතිඵලය කුමක් වුවද අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණයට එය කිසිදු බාධාවක් නොවන බවද පැවසූ ඔහු කිසිදු අක්‍රමිකතාවයක් සිදු නොවන බවත් මැතිවරණ නීතිය අනුව කටයුතු කරමින් සිටින බවත් කීය.

එම නිසා ජනතාව කිසිදු ව්‍යාකූලත්වයකට පත් නොවන ලෙසත් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක සහෝදරයා විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් ජයග්‍රහණය කර ඇති අවස්ථාව ඉක්මණින් සැමරිය හැකි බවත් පැවසීය.