ප්‍රවීණ රංගන ශිල්පියෙකු හා විචාරකයෙකු වන ඩබ්ලිව් ජයසිරි මහතා ඊයේ රාත්‍රී දිවිසැරිය හමාර කොට තිබේ. පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියයන විට 77 වන වියෙහි පසුවිය.
1947 මැයි 1 වන දින ගාල්ලේ උපන්,වීරපුල්ලිගේ ජයසිරි සිංහලෙන් ඩබ්ලිව්. ජයසිරි ලෙස ප්‍රකට විය. ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකා නාට්‍ය හා රූපවාහිනියේ රංගනයෙන් දායක වූ අතර ජයසිරි, පිටපත් රචකයෙකු සහ ගීත රචකයෙකු ලෙසද කටයුතු කරන ලද බහු ප්‍රතිභා පූර්ණ පුද්ගලයෙකි.
ඩබ්ලිව්. ජයසිරි උපත ලැබුවේ ගාල්ලේ හිරිඹුර ප්‍රදේශයේය. ඔහුට සහෝදරයන් තිදෙනෙකු සිටිති. ඔහුගේ පළමු පාසල වූයේ කිතුලම්පිටිය මධ්‍ය විද්‍යාලයයි.
පසුව ඔහු මාතරට ගොස්, සුමංගල විද්‍යාලයේ අධ්‍යාපනය ලබා, අනතුරුව එස්.එස්.සී. විභාගය දක්වා ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලැබීය. ඔහුගේ හැසිරීම් හේතුවෙන් පාසලෙන් ඉවත් කරන ලදුව අවසානයේ ගාල්ලේ විද්‍යාලෝක විද්‍යාලයට ඇතුළත් වූ බව ඔහු පවසා තිබේ. ඔහු උසස් අධ්‍යාපනය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට තේරී පත්වූයේ ආර්ථික විද්‍යාව, ඉන්දීය ඉතිහාසය සහ සිංහල විෂයයන් හැදෑරීමටය. විශ්වවිද්‍යාලයේදී ඔහු නාට්‍ය උළෙල කිහිපයකට සහභාගී වූ අතර නාට්‍ය කවයේ සංස්කාරක ලෙසද කටයුතු කළේය. එකල ඔහු නාට්‍ය උළෙල සංවිධානය කළ අතර එහිදී සුගතපාල ද සිල්වා හමුවී සමීප මිතුරන් බවට පත්විය.
නාට්‍ය ක්ෂේත්‍රයේ අසාර්ථකත්වයන් මාලාවකින් පසු, ඔහු එක්සත් ජනපද සමාගමක රැකියාවක් සඳහා සවුදි අරාබියාවට ගියේය. වසර කිහිපයකට පසු ආපසු පැමිණ නැවතත් නාට්‍ය රංගනයේ යෙදුණි. ඔහු විවාහකයෙකි. දියණියන් දෙදෙනෙකු සිටියි.
ජයසිරි ප්‍රකට අධ්‍යක්ෂ ධර්මසේන පතිරාජගේද සමීප මිතුරෙකි. එකල ඔහු වේදිකා නාට්‍යවල කෙටි චරිත රඟපෑවේය. ඔහු පවසන පරිදි, වයස අවුරුදු 40 සම්පූර්ණ වීමෙන් පසුව පමණක් ප්‍රධාන චරිත රඟපෑමට ඔහු ආරම්භ කළේය. ඔහුගේ ප්‍රථම වේදිකා නාට්‍ය රංගනය සිදු වූයේ 1966 දී හරිම බඩු හයක් දෙවන සංස්කරණය තුළිනි. ඔහු සුගතපාල ද සිල්වාගේ ජනප්‍රිය වේදිකා නාට්‍ය වන දුන්න දුනුගමුව, මුතු කුමාරි වැනි නාට්‍යවල සහ පතිරාජගේ එයා දැන් ලොකු ළමයෙක් නාට්‍යයේද රංගනයෙන් දායක විය. එච්. ඩී. ප්‍රේමරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද සෙයිලම සහ විසිදැල යන චිත්‍රපට මගින් ඔහු ජනප්‍රියත්වයට පත්විය.
ඔහුගේ විචාරාත්මකව අගය කරන ලද වේදිකා නාට්‍ය රංගනය ආවේ 1985 දී මාරා සාද් නාට්‍යය තුළින් වන අතර එය සිංහල රංග කලාවේ සන්ධිස්ථානයක් ලෙස සැලකේ. ඔහු ජනප්‍රිය චිත්‍රපටයක් වන බඹරු ආවිත් හි ගීත රචකයා වේ.
2005 දී, ජයසිරි අධ්‍යක්ෂ සැමි පැවෙල් විසින් මුල් වරට ප්‍රංශ භාෂාවෙන් ලියන ලද සඳ මුදුනට රූපවාහිනී නාට්‍ය තිර රචනය සිංහලට පරිවර්තනය කළේය.
ඔහු රංගනයෙන් දායකවූ වේදිකා නාට්‍ය අතර ධවල භීෂණ, නෝ රිටර්න්, මකරාක්ෂයා හා හඬ නිහඬ වෙයි.
රූපවාහිනී නාට්‍ය මාලා අතර අකාල සන්ධ්‍යා, දඬුබස්නමානය, ධවල කන්‍යා, කුඹියෝ, නීල පබළු, සිඳු - ප්‍රධාන හාමුදුරුවෝ ලෙස,
සිහින සමාගම, තිමිරගිර, වනවදුලේ වසන්තය තිබේ.
ජයසිරි සිය චිත්‍රපට දිවිය ආරම්භ කළේ මෙරිල් ඇල්බට් විසින් අධ්‍යක්ෂණය කරන ලද 1973 දහකින් එකක් චිත්‍රපටයෙන් සුළු චරිතයකිනි. ඔහු සෙයිලම, විසිදැල, භව දුක, දුවට මවක මිස, සංක්‍රාන්ති සහ ගමනී වැනි විචාරාත්මකව අගය කරන ලද චිත්‍රපට කිහිපයකට දායකත්වය සපයා ඇත.
ඔහු අමුතු වැඩ කළ පුද්ගලයෙකි. විවාදාත්මක සිදුවීම් වලින් ප්‍රකටය.
2018 දී, ඔක්තෝබර් 26 දේශපාලන කුමන්ත්‍රණයට විරෝධය පෑම සඳහා කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙලට සහභාගී වීම ප්‍රතික්ෂේප කළේය. සමාජ මාධ්‍යවල ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී ක්‍රියා හෙළා දැක ඇති අතර එවැනි පුද්ගලයෙකුගෙන් සම්මානයක් ලබා ගැනීම තමන්ට පිළිකුල් සහගත බව පවසා ඇත.
ඔහු මීට මාසයකට පමණ පෙර යූටියුබ් ඔස්සේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේ "මං දේශපාලනේ ගැන උනන්දුව අඩු කෙනෙක්. තරගෙ තියෙන්නෙ සජිත් අනුර අතර, රනිල්ට නම් අවස්ථාව අඩුයි. අනුර කුමාර දිසානායක දිනනවනම් හොඳයි..මොකද එතකොට රටේ මිනිසුන්ට අවශ්‍ය වෙනසක් තියෙනවනෙ. අපේ මිනිස්සු ඒ වෙනස මොකක්ද කියල බලයි. ඒත් අවාසනාවකට දැන් අපි නාකියිනේ. අනුර ඒ වෙනස කරන්නෙ කොහොමද කියල මං ජීවත්වෙයිද කියල කියන්න අමාරුයි .. අපි බලමු ඔහු ඒ වෙනස කරාවි කියලා"
ජයසිරි මහතාගේ අවසන් කටයුතු ගැන පසුව දැනුම් දෙනු ඇත.
පහත වීඩියොවේ 01පැය 15 මිනිත්තුවේදී ඔහු දේශපාලනය ගැන කියයි.
0 Comments