තමා පැහැරගනු ලැබූ බව පවසමින් පොලිසිය නොමඟ හරිමින් පැමිණිලි දමා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ගුවන් හමුදා සෙබළියට නීතිය ක්‍රියාත්මක කරන ලෙස පුත්තලම මහේස්ත්‍රාත් අයෝමා විමලරත්න මහත්මිය පුත්තලම පොලිසියට ඊයේ (9) නියෝග කළාය.
පුත්තලම මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළේ පුත්තලම පාලවිය ගුවන් හමුදා කඳවුරේ සේවය කරන 24 හැවිරිදි ගුවන් සෙබළියක තමා පැහැරගනු ලැබූ බව පවසමින් පොලිසිය හා අධිකරණය නොමඟ යවමින් දමා තිබූ පැමිණිල්ලෙන් පසු අත්අඩංගුවට ගැනුණු අදාළ සෙබළියගේ අනියම් සැමියා බව කියන සැකකාර ගුවන් හමුදා රියැදුරකු කල පාපෝච්චාරණය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කළ කරුණු ඉදිරිපත් කිරීම සැලකිල්ලට ගනිමිනි.
පාලවිය ගුවන් හමුදා කඳවුරේ සේවය කරන මේ ගුවන් හමුදා සෙබළිය එම කඳවුරේම සේවය කරන සැමියාට රහසේ අනියම් සම්බන්ධතාවක් පවත්වන සැකකරු සමඟ ඔහු රැගෙන ආ මෝටර් රථයක නැඟී පසුගිය 3 දින ගොස් ඇත්තේ අදාළ සෙබළිය පදවාගෙන පැමිණි යතුරුපැදියද නිවෙසක දමා බව විමර්ශනවලදී අනාවරණය වී තිබිණි. ඉකුත් 3 දින මේ සෙබළියට නිවාඩු දිනයක් වූ බවද ඒ වන විට එම කඳවුරේ සේවය කරන සැමියා සේවයට ගොස් තිබූ බවද කියයි.
කෙසේ නමුත් සැමියා තම බිරියට අවස්ථා කිපයකදී දුරකතන ඇමතුම් ගෙන තිබුණද එයට ඇය සම්බන්ධ වී නැති බවත්, පසුදින සැමියා අමතමින් තමා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් පැහැරගත් බවත් එසේ පැහැරගත් පිරිස තම මුහුණට කිසියම් දෙයක් අල්ලා සිහි නැති කිරීමක් පවා කළ බවත් සැමියාට දන්වා තිබිණි. ඒ සමගම පසුදින එම මෝටර් රථයෙන්ම රැගෙන විත් මඩ සහිත ස්ථානයක දමා ගිය බවත් ඇය පවසා තිබිණි. ගුවන් සෙබළිය මේ පිළිබඳව තම සැමියාට කළ පාපෝච්චාරණයෙන් පසු ඇයගේ සැමියා තම බිරිය සමඟ පුත්තලම පොලිසියට ගොස් පැමිණිලි කර තිබිණි. අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් වයඹ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණයෙන් අදාළ පැමිණිල්ල සම්බන්ධව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාගේ මැදිහත් වීමෙන් පරීක්ෂණ ආරම්භ කර තිබිණි.
ඒ අනුව පුත්තලම පොලිසියේ අපරාධ අංශ නිලධාරීන් විසින් අදාළ පැහැර ගැනීම සිදු කළ බව පැවසූ මෝටර් රථය සීසීටීවී කැමරා දත්තවලින් තහවුරු කරගැනීමට සමත්ව තිබිණි.
අදාළ මෝටර් රථය වරකාපොළ පදිංචිකරුවකුට අයත් වූවක් බව තහවුරු කරගත් පොලිස් නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී පවසා තිබුණේ තම මෝටර් රථය ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ සේවය කරනු ලබන රියැදුරකු විසින් තමන්ගෙන් ඉල්ලාගෙන ගිය බවයි.
පසුව ඔහුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී පවසා සිටියේ තමන් මෙම කාන්තාව පැහැර ගැනීමක් සිදු නොකළ බවත් මෙම කාන්තාව කැමැත්තෙන්ම තමන් රැගෙන ගිය මෝටර් රථයෙන් වරකාපොළට රැගෙන ආ බවත් ඉන් පසුව පසුදින පිටත් වූ බවයි.
කෙසේ වෙතත් මේ කාන්තාව හා ඇයගේ සැමියා කළ පැමිණිල්ල අනුව අදාළ සැකකාර ගුවන් හමුදා රියැදුරු හා මෝටර් රථය හිමිකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එහිදී මේ ගුවන් හමුදා සෙබළිය නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර පවසා සිටියේ තමන් පොලිසිය හමුවේ දැමුවේ බොරු පැමිණිල්ලක් බවත් තමන් පැහැර ගැනීමක් සිදු නොවූ බවයි. එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය හා පොලිසිය අදාළ ගුවන් හමුදා සෙබළියගේ ප්‍රකාශය ගැන තූෂ්ණීම්භූත වන්නට විය.
කෙසේ නමුත් මේ ගුවන් හමුදා සෙබළිය පැහැරගත් බව කියන සැකකාර ගුවන් හමුදා රියැදුරුට ඇප දීමට මහේස්ත්‍රාත්වරිය කටයුතු කළ අතර, පොලිසිය හමුවේ ව්‍යාජ පැමිණිලි දමා අධිකරණය නොමඟ යැවීම සම්බන්ධයෙන් මේ ගුවන් හමුදා සෙබළියට අදාළ නීත්‍යනුකුල කටයුතු කිරීමට පොලිසියට නියෝග කළාය.
පුත්තලම පොලිස් අධිකාරි උදය කුමාර මහතාගේ උපදෙස් මත, පුත්තලම මූලස්ථාන (ප්‍ර.පො.ප) කේ.ඒ. කුලතුංග මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති (පො.ප) දිමුතු ගුණසේකර මහතා සමඟ (පො.සැ) 58330 දයානන්ද, 37485 සෙනරත්, 64886 නිමල්, 34606 විජේරත්න යන නිලධාරීන් අදාළ සිද්ධිය සම්බන්ධව ඉදිරි විමර්ශන ආරම්භ කර තිබේ.
(පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ, වනාතවිල්ලුව කේ. ප්‍රියංකර කළුපහන)
0 Comments