wasaNTHA-SAMARASINGHE

ලෝක ඉතිහාසයේ දේශපාලන ව්‍යාපාරයක් ලබා ගත් දැවැන්ත ජයග්‍රහණය මෙය බවත්, එලෙස ගොඩ නැගූ ජනතා විශ්වාසය තුළ හොරුන්ට, දූෂිතයන්ට, වංචාකාරයන්ට දොරවල් විවෘත වන්නේ නැති බවත්, රටේ ජනතාවගේ මුදල් හොරා කාපු, මහජනතාවගේ දේපළ කොල්ල කාපු සියලු දෙනාට ලෝකයේ කොහේ හැංගුණත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ඇතුළේ හැංගෙන්න බැරි බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසයි.ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (22දා) පස්වරුවේ අනුරාධපුරයේ දී පැවැති මාධ්‍ය හමුවකදීය. වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා මෙසේද කීය.




"2019 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ලක්ෂ තුනහමාරක ඡන්දයක් ගත්ත, අනුර කුමාර දිසානායක මහතා අද ලක්ෂ පනස් හයහමාරක් ලබා ගත්තේ ජනතාවගේ විශ්වාසය නිසයි. හොරකම දූෂණය වංචාව නතර කරන්න කියලා ඡන්දෙ දුන්න මේ ජනතාව, මේ හොරු දූෂිතයෝ වංචාකාරයෝ එක මිටට තියලා පැරද්දුවා. මේ රටේ බහුජන සංවිධාන, කාන්තාවන්, තරුණයන්, ගොවියෝ, කම්කරු, ධීවරයෝ ව්‍යවසායකයන් ඇතුළු සියලු දෙනා, සියලු ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් මේ බහු ජන සංවිධානය නිර්මාණය කළා.අල්පමාත්‍රයකවත් සැකයක් තියා ගන්න එපා.




මේ රටේ මහජනතාවගේ මුදල් හොරා කාපු මහජන ධනය කොල්ල කාපු කිසිවෙකුටත් කිසිදු සමාවක් නෑ. මේ රටේ ජනතාව දුක් වින්දේ ඒ නිසා , මහා බැංකු බැඳුම්කර වංචාවේ සිට පාස්කු ප්‍රහාරයේ සිට බාර් ලයිසන් බෙදපු ඒවාගේ සිට මේ රටේ භාණ්ඩාගාරයට යන සල්ලි හොරා කාපු දූෂිතයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරනවා.එසේ දඬුවම් කිර්ම නීත්‍යනුකූලව ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ අනිවාර්යෙන් සිදු කරනවා.


ජාතික ජන බලවේගයට ඡන්දය නොදුන් සියලු ජනතාවට අපි ආරාධනා කරනවා මේ රට ගොඩ නගන ගමනට අතවැල් බැඳ ගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ දරුවන්ට හොඳ රටක් නිර්මාණය කිරීමට අත්වැල් බැඳ ගන්නා ලෙස.
(  බී.ජී. චතුරංග)