welgama-no-more

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වී තිබෙන බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම අභාවප්‍රාප්ත විය.


මිය යන විට ඒ මහතා 74 වියේ පසුවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා අමාත්‍යවරයෙකු වශයෙන්ද කටයුතු කළේය.

හිටපු අමාත්‍ය වෙල්ගම 1984 සිට 2000 දක්වා අගලවත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ අතර,2007 සිට 2010 දක්වා කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

2010 වසරේ සිට 2015 මුල් භාගය දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ රජයන්හි ප්‍රවාහන අමාත්‍යවරයා ධුරයේ කටයුතු කළේ කුමාර වෙල්ගම මහතායි.

2019 වසර දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකුව සිටි ඔහු ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වයට සහාය දීමෙන් පසු පක්ෂයෙන් ඉවත් විය.



අනතුරුව නව ලංකා නිදහස් පක්ෂය නමින් නව පක්ෂයක් ආරම්භ කළ ඔහු, 2020 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයට සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේග සන්ධානයට එක්ව තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටියේය.