A-stock-of-whiskey-bottles-in-the-Colombo-Magistrate's-Court-case-room-has-gone-missing

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ කාඩ්බෝඩ් පෙට්ටිවල අසුරා තිබූ රුපියල් කෝටි දෙකක විස්කි බෝතල් 1994 අතුරුදන් කර ඇත්තේ විස්කි බෝතල් ඇසුරු කාඩ්බෝඩ් පෙට්ටි සියල්ල බැහැර කිරීමෙන් පසුව බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට ඊයේ (24දා)

දැනුම් දුන්නේය. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ විස්කි බෝතල් අතුරුදන්වීම පිළිබඳ නඩුව කැඳවූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලීසිය එසේ දැනුම් දුන්නේය.




නඩුව කැඳවූ අවස්ථාවේදී සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ භාණ්ඩ භාරකරු වශයෙන් කටයුතු කළ ගයාන් සම්පත් නමැති සැකකරු බන්ධනාගාර නිලධාර්න් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙන වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාහු සිද්ධිය වූ සමයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වශයෙන් කටයුතු කළ ලංකා ජයරත්න මහත්මියගේ අධීක්ෂණයට අදාළ භාණ්ඩ ලක්වී ඇති බවත්, සුරාබදු දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ භාණ්ඩ තොගය සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව විමර්ශනයක් කර වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් කීහ.




සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව ඔවුන් අත්අඩංගුවට ගත් විස්කි බෝතල් අඩංගු පෙට්ටි ගබඩා කාමරයේ වර්ගඵලය අනුව එහි අසුරා තැබීමට හැකියාව ඇති බවත්, විස්කි බෝතල් සියල්ල ගබඩා කර තිබූ බවට මහේස්ත්‍රාත්වරයාගේ සටහන් ඇති බවත්, දැනුම් දුන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු මහේස්ත්‍රාත්වරයාගේ සටහන් හා සුරාබදු දෙපාර්තමේන්තුවේ සටහන් පරිශීලනය කිරීමෙන් පසු මෙම වාර්තාව ඉදිරිපත් කරන බවත් සඳහන් කළහ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු ලබන පළමුවැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින වාර්තා කරන ලෙස නියම කළේය.
(බුද්ධිමාල් රුබේරු)