yala-italy-father-son

යාල ජාතික වනෝද්‍යානය ආසන්න රක්ෂිත ප්‍රදේශයක බත් කූරන් ඇතුළු කෘමි සතුන් අල්ලා ඉතාලියට රැගෙන යාමට තැත් කළ ඉතාලි ජාතික පිය පුතු දෙපලකට රුපියල් හය කෝටි එක් ලක්ෂ අසූ දහසක දඩ මුදලක් තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර ද සිල්වා මහතා විසින් ඊයේ (3) නියම කරනු ලැබීය.මෙලෙස දඩ නියම වූයේ වයස අවුරුදු පනස් අටක් වන පෙරාරි ලුයිගි හා වයස අවුරුදු 28ක් වන පෙරාරි මාටියා යන ඉතාලි ජාතික පිය පුතු දෙපළකටය.




මෙම දඩ මුදල තිස්සමහාරාම අධිකරණ ඉතිහාසයේ නියම කරන ලද විශාලතම දඩ මුදල ද බව තිස්සමහාරාම අධිකරණයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.ඉතාලි ජාතිකයන් වෙනුවෙන් වෙනත් ප්‍රදේශ වලින් පැමිණි නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර, ඔවුන් විත්තිය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම ඉතාලි ජාතිකයන් දෙපල සතුන්ට ආදරය කරන පුද්ගලයන් බවයි.


මෙම සිද්ධියට අදාළ විත්තිකරුවන් විදේශ ජාතිකයන් නිසා මෙම නඩුකරය ඉක්මනින්ම විසඳීම සඳහා අධිකරණය ඉතා ඉක්මනින් කටයුතු කළ බවත් ඊට අදාළ විශේෂඥ වාර්තා කඩිනමින් කැඳවීමට හැකිවූ බවත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී සඳහන් කළේය.එමෙන්ම මෙම විත්තිකරුවන් මූලික අවස්ථාවේදීම වරද පිළිගන්නා බව ප්‍රකාශ කිරීමත් මෙම පරීක්ෂණය කඩිනම් වීමට ඉවහල් වූ බවද කීය.




වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව මෙම ආරක්ෂිත සතුන් සම්බන්ධයෙන් කරනු ලැබූ වරදක් බැවින් ගොනු කරන ලද චෝදනා තුන්සිය හතරටම වැරදිකරුවන් වන බව කියා සිටියේය. ඒ අනුව එක් එක් චෝදනාවට අදාළ දඩ මුදල අධිකරණයට කියා සිටි අතර එහි මුළු එකතුව ලෙස රුපියල් හයකෝටි එක් ලක්ෂ අසූ දහසක මුදලක් ගෙවන ලෙස ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේය.


දඩ මුදල අද දින ගෙවීමට කටයුතු කළ හැකිද යන්න විමසා සිටි අතර ඒ සඳහා පිළිතුරු දෙමින් විත්තියේ නීතිඥවරුන් සඳහන් කළේ අද දින ගෙවීමට මුදල් නොමැති බවය. එසේ නම් කොටසක් හෝ ගෙවීමට හැකිදැයි මහේස්ත්‍රාත්වරයා විමසා සිටි අවස්ථාවේදී ද විත්තියේ නීතිඥවරුන් සඳහන් කළේ කොටසක් ගෙවීමට හැකියාවක් නොමැති බවය.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම 29 වැනිදා දඬ මුදල ගෙවන ලෙසට නියෝග කළේය. දඩ මුදල ගෙවන තෙක් මෙම විදෙස් ජාතික දෙපලට රටෙන් පිටව යාමට කිසිදු අවසරයක් නොමැති බවද සඳහන් කළේය.

  අමිල සම්පත් ශ්‍රී පල්ලියගුරු