ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනම ග්‍රීක බැදුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික

පාඩුවක් කළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඇතුළු පස්දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුවේ අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා රුපියල් කෝටිය බැගින් වටිනා ඇපකරුවන්ගේ බැඳුම්කර මත විත්තිකරුවන් මුදාහැරීමට ඊයේ (10) නියම කළේය.


අධිකරණයෙන් නිකුත් කළ සිතාසිවලට අනුව අධිකරණයේ පෙනී සිටි විත්තිකරුවන්ට එලෙස ඇප නියම කළ විනිසුරුවරයා අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවීම වළකාලමින් තහනමක්ද පැනවීය.හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අමතරව චෝදනා බැරදීමෙන් අනතුරුව ඇප මත මුදා හරින ලද්දේ මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ, පණ්ඩිත සිරිවර්ධන හා එම්.ඒ. කරුණාරත්න යන මහත්වරුන්ය.


2012 වසරේ ග්‍රීක රජය දැඩි ආර්ථික අර්බුදයක පසුවෙද්දී ශ්‍රී ලංකා රජය සතු රුපියල් කෝටි 1843 267 595/- ක අධික මුදලක් යොදවා ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට පාඩු කළ බවට අල්ලස් කොමිසම හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අමතරව කේ.ජී. ඩී. ධර්මසේන ධීරසිංහ. වසන්ත ආනන්ද සිල්වා.චන්ද්‍රසිරි ජයසිංහ, පණ්ඩිත සිරිවර්ධන සහ එච්.ඒ. කරුණාරත්න නමැත්තන්ට එරෙහිව නඩු පවරා තිබිණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කළ පැමිණිල්ලකට අනුව කරන ලද විමර්ශනයකින් අනතුරුව අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරන ලදී. විත්තිකරුවන්ට එරෙහිව මෙම සිද්ධිය සම්බන්ධයෙන්ම මීට පෙර අවස්ථාවකදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබූ අතර විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදීම සඳහා එම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලීන් ලද්දුවහෙට්ටි, නීතීඥවරුන් වන චමින්ද අතුකෝරල සහ හරිගුප්තා රෝහණධීර යන මහත්වරු මූලික විරෝධතා මතු කරමින් අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍රයට අත්සන් කර ඇත්තේ ඔහු එම තනතුරට පත්වීමට දින 11කට පෙර හෙයින් විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති අධි චෝදනා  පත්‍රයේ නීත්‍යනූකූලභාවය සම්බන්ධයෙන්  විරෝධතාවක් මතු කළහ.

 

අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රයේ නෛතික වලංගුභාවයක් නොමැති බවත් එම අධිචෝදනා පත්‍රය බලශුන්‍ය බවත් අවධාරණය කළ නීතිඥවරු මෙම තත්වය යටතේ තම සේවාදායකයන්ට අධිචෝදනා පත්‍ර බාර නොදී සියලු චෝදනාවලින් ඔවුන් නිදහස් කරන්නැයි ඉල්ලීම් කළහ. විත්තියේ නීතීඥවරුන් ඒ අවස්ථාවේදී මතුකළ මූලික විරෝධතාව පිළිගත් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර බාර නොදීම සියලු චෝදනාවලින් පසුගිය මැයි 31 වැනිදා ඔවුන් සියලු දෙනා නිදහස් කෙරිණි.


ඉන් අනතුරුව අල්ලස් කොමිසම විසින් පසුගිය අගෝස්තු 21 වැනිදා විත්තිකරුවන්ට එරෙහිව එම චෝදනාව යටතේම යළිත් වරක් නඩු පවරන ලද අතර ඒ අනුව අධිකරණයෙන් නිකුත් කළ සිතාසිවලට අනුව නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු දක්වමින් තම සේවාදායකයන් මුල් අවස්ථාවේ සිටම විමර්ශන කටයුතුවලට සහාය දී ඇති හෙයින් ඔවුන් රක්ෂිත බන්ධනාගාරයේ රඳවාගෙන නඩු විභාගය පැවැත්වීමේ අවශ්‍යතාවක් නැතැයි පැවසූහ.


එහෙයින් තම සේවාදායකයන්ට ඇප නියම කරන්නැයිද තම සේවාදායකයන්ට එරෙහි අධිචෝදනා පත්‍රයන්ට අත්සන් කළ අල්ලස් හෝ දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් දී ඇති හෙයින් තම සේවාදායකයන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා පත්‍ර සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරි නඩු දිනයේදී ගොනු කිරීමට පියවර ගන්නා බව නීතීඥවරු වැඩිදුරටත් දැනුම් දුන්හ.


ඉදිරිපත්වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුවන් කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා නඩුව යළි කැඳවන දෙසැම්බර් 06 වැනිදා විත්තියේ මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට නියම කළේය.


මනෝප්‍රිය ගුණසේකර