ආගමික සිද්ධස්ථානවල වහලවල් මත නොමිලේ සූර්ය පැනල පද්ධති සවි කිරීමේ ව්‍යාපෘතියක් ඉන්දියානු රජයේ මූල්‍ය සහය ඇතිව බලශක්ති අමාත්‍යාංශය ආරම්භ කර ඇත.
නව පුනරුද යුගයක උදෑසන සමඟ ජන කේන්ද්‍රීය බලශක්ති සංක්‍රාන්තියක් කරා ගමන් කරන බලශක්ති අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ සහ ඇමරිකානු ඩොලර් මිලියන 17ක ඉන්දියානු රජයේ මූල්‍ය ආධාර යටතේ, ලංකා විදුලිබල මණ්ඩලය (CEB),
සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SEA) සහ ලංකා විදුලි සමාගම එක්ව දිවයින පුරා විසිරී ඇති ආගමික සිද්ධස්ථානවල වහලවල් මත සවි කිරීමට සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් දියත් කර ඇත.
මෙම ව්‍යාපෘතිය රට පුරා විසිරී ඇති බෞද්ධ පන්සල්, පල්ලි, මුස්ලිම් පල්ලි සහ හින්දු කෝවිල් ආවරණය කිරීමට අපේක්ෂා කරයි.
පළමු අදියර යටතේ 2025 මුල් භාගය වන විට ආගමික සිද්ධස්ථාන 5,000ක සූර්ය පැනල පද්ධති සවි කිරීමට අපේක්ෂිතය. එම ආගමික ස්ථානවල වහල මත කිලෝවොට් 5ක සූර්ය පැනල පද්ධතියක් නොමිලේ සවි කෙරේ.
සූර්ය පද්ධති සවි කිරීමෙන් පසු ආගමික සිද්ධස්ථානවල විදුලි බිල්පත් සැලකිය යුතු ලෙස අඩු වන අතර ඔවුන්ගේ පරිභෝජනයෙන් පසු ඉතිරි වන විදුලි ඒකක ජාතික විදුලි පද්ධතියට යොමු කෙරේ.
පළමු අදියරේදී සවි කරනු ලබන සූර්ය බලශක්ති පද්ධති පන්දහසෙන් එක් පද්ධතියකින් මසකට විදුලි ඒකක 500ත් 600ත් අතර ප්‍රමාණයක් උත්පාදනය කිරීමට අපේක්ෂිතය.
පළමු අදියරේදී සවි කිරීමට නියමිත මුළු ධාරිතාව මෙගාවොට් 25ක් වන අතර,
වාර්ෂිකව විදුලි ඒකක මිලියන 37ක් පමණ උත්පාදනය කිරීමට අපේක්ෂිතය.
මෙම විදුලි ඒකක ෆොසිල ඉන්ධන භාවිතයෙන් නිපදවූයේ නම්, වාර්ෂික සාමාන්‍ය පිරිවැය රුපියල් මිලියන 2,650ක් පමණ වනු ඇත. එබැවින්, මෙම හරිත බලශක්ති ව්‍යාපෘතිය මගින් ඉන්ධන පාදක විදුලි ජනනය හා සම්බන්ධ වාර්ෂික පිරිවැය සැලකිය යුතු ලෙස අඩු කිරීමට අපේක්ෂා කෙරේ.
සිකුරාදා (25) පැවති භාර දීමේ උත්සවයට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්, ලංවිම, සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ පන්සල්, පල්ලි, කෝවිල් සහ මුස්ලිම් පල්ලිවල නියෝජිතයින් ද සහභාගී වූහ.
0 Comments