හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගතවීම වළකාලමින් කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය විදේශ ගමන් තහනමක් ඊයේ (10දා) පැනවූවාය. ලියාපදිංචි නොකළ බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කාර් රථයක් ව්‍යාජ අංක තහඩුවක් යොදාගෙන භාවිත කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කරන බව දැනුම් දෙමින් රහස් පොලීසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එලෙස විදේශ ගමන් තහනමක් පැනවූවාය. 


සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිස් නිලධාරීහු කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක රථගාලේ සැකකටයුතු අන්දමින් කාර් රථයක් නවතා ඇති බවට ලැබුණු තොරතුරකට අනුව මෙම බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කාර් රථය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව දැනුම් දුන්හ.


එම විමර්ශනවලදී ජර්මනියේ නිෂ්පාදිත මෙම බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ කාර් රථය එංගලන්තයට යවන බව පවසා හොර රහසේ මෙරටට ගෙන්වා ඇති බවත්, පසුව කාර් රථය මෙරට ලියාපදිංචි නොකර වෙනත් මෝටර් රථයකට නිකුත් කළ අංක තහඩුවක් ව්‍යාජ ලෙස සවිකර මෙම කාර් රථය භාවිත කර ඇති බවත් දැනුම් දුන් නිලධාරීහු මෙම රථය මෙරටට ගෙන්වූයේ කවුද? භාවිත කළේ කවුද? යන්න පිළිබඳ පුළුල් විමර්ශනයක් ආරම්භ කර අතැයිද දැනුම් දුන්හ.


සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන හෙයින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගතවීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ. පොලීසියේ ඉල්ලීම පිළිගනිමින් ඒ සඳහා අවසර දුන් මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිර්මට පොලීසියට නියම කළාය.

බුද්ධිමාල් රුබේරු