ඊයම් අම්ල (Lead acid) බැටරිය අදටත් බොහෝ වාහන නිෂ්පාදකයන් සිය නිමැයුම් සඳහා කර්මාන්ත ශාලාවේදීම සවිකරනා උපාංගයන් අතරින් එකකි. අදටත් ජපානය, දකුණු කොරියාව, මැලේසියාව, ඉන්දියාව පමණක් නොව වාහන නිෂ්පාදනය කරනා යුරෝපීය රටවල නිෂ්පාදකයන් පවා භාවිත කරනුයේ ඊයම් ඇසිඩ් (Lead acid) බැටරිය . ඊට ආදේශක ලෙස ලිතියම් බැටරි යොදාගැනීම තවමත් පවතිනුයේ විවාද සම්පන්න තත්ත්වයකය.
එසේ තිබියදී ශ්‍රී ලංකාවට ඊයම් ඇසිඩ්(Lead acid) බැටරි වෙනුවට ලිතියම් බැටරි හඳුන්වාදීමේ උත්සහ ගැනීම පුදුම සහගතය.
ඊයම් ඇසිඩ් බැටරියට සාපේක්ෂව ලිතියම් බැටරි මිල අධිකය. දේශීයව නිපද විය නොහැකි නිසා එය අනිවාර්යයෙන් ආනයනය කළ යුතුය . එවිට ඒ සඳහා වැයවන්නේ රට සතු ඩොලර් බව අමුතුවෙන් කිවයුතු නොවේ .
ලිතියම් බැටරියේ මිල තීරණය වන්නට බලපානා සාධක අතරින් නැව් ගාස්තුද එකකි. ජාත්‍යන්තර නාවික ප්‍රවාහනයේදී ලිතියම් බැටරි ලයිස්තුගතව ඇත්තේ අධි අවදානම් ඛාණ්ඩයේය. එවැනි දේ නැව් මගින් ප්‍රවාහනයේදී අධික ගාස්තුවක් අයකරනු ලබයි. එවැනි ද්‍රව්‍ය ප්‍රවාහනය කරනා නෞකාවන්ට බොහෝ වාණිජ වරායන්ට ඇතුළුවීමේදී බාධක වලට මුහුණ දීමට සිදුවේ.
අධි අවදානම් ලිතියම් බැටරි ප්‍රවාහනයේදී අධික නැව් ගාස්තුවක් මෙන්ම රක්ෂණ ගාස්තුවක්ද අය කරනු ලබයි . එහෙත් ඊට සාපේක්ෂව ඊයම් ඇසිඩ් බැටරිවල තත්ත්වය ඉදුරාම වෙනස් ය. එය අවදානම් භාණ්ඩයක් ලෙස නම් කර නැත. එහෙයින් එය බාධාවකින් හෝ අමතර ගාස්තුවකින් තොරව ඕනෑම නෞකාවක සාමාන්‍ය භාණ්ඩයක් ලෙස පහසුවෙන් ප්‍රවාහනය කළ හැක. එනිසා ඊට ප්‍රවාහනයේදී අධිභාර එකතු වන්නේ නැත.
ලිතියම් බැටරි භාවිතයට පාරිභෝගිකයන් දිරිමත් නොවන්නේ එහි මිල නිසා පමණක් නොවේ. තාක්ෂණයක් ලෙස එය තවමත් අලුත් ය. තවමත් ඒ සම්බන්ධව හරිහමන් අවබෝධයක් බොහෝ දෙනෙකුට නැත. එනිසාම භාවිතයෙ පසු ඉවතලීම සහ ප්රතිචක්රීයකරණය කිරීම අභියෝගයකි. ලෝකයේ ලිතියම් බැටරි ප්රතිචක්රීයකරණය කිරීමේ පහසුකම් ඇත්තේ රටවල් අතලොස්සකට පමණි . එබැවින් භාවිතයෙන් පසු ප්රතිචක්රීයකරණය පිණිස ලිතියම් බැටරි එම රටවලට යැවීමට සිදු වෙයි. එය අධික වියදම් සහිත ක්‍රියාවකි. අවාසනාව නම් ලිතියම් බැටරියක් මිලට ගැනීමේදී එහි ප්රතිචක්රීයකරණ ගාස්තුවද පාරිභෝගිකයා පිට පැටවීමය. ඊට සාපේක්ෂව ඊයම් අම්ල (Lead acid) බැටරිය ලාබදායක වන්නේ එය ඉතා පහසුවෙන් දේශීයව ප්‍රතිචක්‍රීය කරණය කළ හැකි වීමය . බොහෝ අවස්ථාවල භාවිතයෙන් ඉවත්කරනා ඊයම් අම්ල (Lead acid) බැටරි ප්රතිචක්රීයකරණය සඳහා නිවසට පැමිණ මිලට ගනී .
ඊයම් ඇසිඩ් බැටරිය සාමාන්‍ය ගබඩාවක අසුරා තැබිය හැක. එහිදී ඊට අමතරව ආරක්ෂාවක් අවශ්‍ය නැත. එහෙයින් එය ලාබ දායකය . එහෙත් පිපිරීමේ අවදානම සහිත දෙයක් ලෙස ලැයිස්තුගත කරඇති බැවින් ලිතියම් බැටරිය එසේ නොවේ. එය දැඩි ආරක්ෂා සහිතව ගබඩා කළ යුතු අතර අධික රක්ෂණ වියදමක්ද දැරිය යුතු වේ.
ඊයම් ඇසිඩ් බැටරිය දේශීයව නිපදවයි. ඒ සඳහා ප්රතිචක්රීයකරණය කරන ලද බැටරි කොටස් යොදාගනී. එබැවින් එහි පාරිසරික හානි අවමය. එහෙත් ලිතියම් බැටරිය තවත් වසර දහයකටවත් දේශීයව නිපදවිය හැකියයි සිතිය නොහැක. බැටරියක් රට තුළට ගැනීමේදී අප විසින් සලකා බැලියයුතු වැදගත්ම කාරණාව වනුයේ එය බැහැර කිරීමය. ඊට හේතුව අවිධිමත් ආකාරයෙන් බැහැර කරනා බැටරියක ඇති රසායානික ද්‍රව්‍ය පොළවට එක්වීමෙන් පසු ඒවා නියත ලෙසම භූගත ජල මූලාශ්‍ර වලට මුසු වන බැවිනි. එහෙයින් ආරක්ෂාකාරීව බැහැර කළ නොහැකි ලිතියම් බැටරි රටතුළට ගෙන ඒම මගින් මෙරට ජල මුලාශ්රවලට විස එක්වී මහජන සෞඛ්‍ය අවධානමේ වැටීම අනිවාර්ය වෙයි .
එහෙත් ඊයම් ඇසිඩ් බැටරි බැහැර කිරීමේ ක්‍රම පිළිබඳව එවැනි අවදානම් සහගත බවක් නැත .
දෙතුන් දෙනෙකුගේ ආර්ථික වාසිය ගැන සිතා වියදම් අධික, ආරක්ෂාව අවම ලිතියම් බැටරියට ඉඩදීම මගින් ගිනි ගැනීම් පිපිරීම් වලින් එහා ගිය පස දිය වනසා, බොන වතුරටද වස විස මුසුවීමේ අවදානමක් ඇතිබව අවධාරණය කරන්නෙමු.
ජූඩ් නාත්තන්ඩියගේ .
0 Comments