The-Kelaniya-University-student-fell-while-urinating-from-the-hostel-window

කැලණිය විශ්වවිද්‍යාලයේ කන්නංගර ශිෂ්‍ය නේවාසිකාගාරයේ සිදුවූ කනගාටුදායක සිදුවීමක් ඊයේ වාර්තා විය.  එම විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිව්වන වසර සිසුවෙකු නේවාසිකාගාරයේ සිව්වන මහලින් වැටී මියගිය අතර ඔහු මියගිය ආකාරය ගැන පරීක්ෂණ පවත්වා ඇති පොලිසිය අනාවරණය කරන්නේ සිසුවා පෙරදින (22) රාත්‍රියේ මිතුරන් සමඟ සාදයකට සහභාගී වී ඇති බවත්
රාත්‍රී 11:30ට පමණ නේවාසිකාගාරයේ සිය කාමරයට පැමිණ අලුයම 3:30ට පමණ ශාරීරික අවශ්‍යතාවයක් සඳහා නැගිට
නේවාසිකාගාර ජනේලය අසළ සිටගෙන එයින් පිටතට මුත්‍රා කරන්නට උත්සාහ කරන අවස්ථාවේ අනතුර සිදුවී ඇති බවයි.
විශ්වවිද්‍යාලයේ සිට කිලෝමීටර 1.5ක් පමණ දුරින් මූනමල්ගහවත්ත ප්‍රදේශයේ පිහිටි මෙම නේවාසිකාගාරයේ බොහෝ සිසුන් රාත්‍රී කාලවල විශේෂයෙන් වැස්ස ඇති අවස්ථාවල මුත්‍රා කිරීමට පිටතට නොයන බවත් තමන් රැඳී සිටින කාමරයේ ජනේලය අසළ සිටගෙන එම කෘත්‍යය සිදුකරන බවත් පරීක්ෂණ වලදී ලැබුණ සාක්ෂි වලින් අනාවරණය විය.නේවාසිකාගාර ජනේලයෙන් කකුලක් එළියට දමමින් ඒ මත වාඩි වීමට සූදානම් වූ අවස්ථාවේ බිමට ඇදවැටී තිබෙන බව පරීක්ෂණ මගින් හෙළිව ඇත.සිරුර කිරිබත්ගොඩ රෝහලට රැගෙන ගිය අවස්ථාවේදීම මියගොස් සිටි බව තහවුරු වී ඇත.

මියගිය සිසුවා මහියංගණය, රිදීමාලියද්ද, කන්දේගම, නිසංසල ප්‍රදේශයෙන් අධ්‍යාපනය සඳහා පැමිණි ප්‍රින්ස් රාජු බණ්ඩාර (වයස 24)
නමැත්තෙකි. ඔහු කළමනාකරණ පීඨයේ ගණකාධිකරණ අධ්‍යයන අංශයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටියේය.
සිසුවා විශ්වවිද්‍යාලයේ දක්ෂ සිසුවෙකු ලෙස හඳුනාගෙන ඇත. සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර
කැලණිය පොලීසිය සහ පෑලියගොඩ පොලීසිය ඒකාබද්ධව පරීක්ෂණ පවත්වයි.

විශ්වවිද්‍යාල පරිපාලනය සිසුන්ගේ රාත්‍රී කාලීන වැසිකිළි භාවිතය පිළිබඳව ද විශේෂ අවධානය යොමු කර ඇත.