amaraweera-organic-fertilizer

හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්, ඉන්දුනීසියානු නියෝජිතයන් පිරිසක් එක්ව දඹුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යන බව කියන කාබනික දියර පොහොර ව්‍යාපෘතියක් පිළිබඳව පෙරේදා (08දා) විශේෂ පරීක්ෂණයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කොට තිබේ.


යුද හමුදාවේ බුද්ධි අංශ දීර්ඝ කාලයක් සිදු කරන ලද රහසිගත ගවේෂණයකදී හෙළි වී ඇත්තේ, දිස්ත්‍රික්ක හතරක කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන ලද ගොවීන් සම්බන්ධ කරගෙන, ඉන්දුනීසියාවේ නිෂ්පාදිත දියර වර්ගයක් ලංකාවට ගෙන්වා කාබනික දියර පොහොරවලට කලවම් කර කාබනික දියර පොහොර සකස් කිරීම  සිදුකරන බවය.




යුද හමුදාවේ බුද්ධි නිලධාරීන්  පිරිසක් ලබා දුන් තොරතුරු අනුව හෙළිව ඇත්තේ, දඹුල්ල දිගම්පතහ ප්‍රදේශයේ දේශීය ලොකු ලූනු බීජ ගම්මානයේ නිවසක ඉන්දුනීසියානු ජාතිකයන් පැමිණ අත්හදා බැලීම සිදුකරගෙන යන බවය. කාමරයක තබා තිබූ එවැනි කාබනික දියර පොහොර තොගයක් අනාවරණය කර ගැනීම සිදු කරන ලදී.


බුද්ධි නිලධාරින් දැනුවත් කිරීම මත, මෙම අවස්ථාවට මාතලේ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරිහු සහ  දඹුල්ල කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීහු එක්ව සිටියහ.යුද හමුදා බුද්ධි නිලධාරින්  සඳහන් කළේ, කාබනික දියර පොහොර නිපදවීම ගැටලුවක් නොවන බවත්, එහෙත් කිසිදු නියාමනයක් හෝ රටේ නීතිය අනුව ඉන්දුනීසියානු රටෙන් මෙරටට ගෙන්වා ඇති එම දියරය කුමක්ද, ඒවා ගෙන්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිසි අවසරය ලබා ගත්තේද යන්න බරපතළ ගැටලුවක් හා සැකයක්ව පවතින බවය.



බුද්ධි නිලධාරීන්ගේ තොරතුරු අනුව මෙම ස්ථානයට පැමිණි මාතලේ පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රධානි එච්.අයි.එම්.කුමාර මහතා සහ දඹුල්ලේ කෘෂිකර්ම උපදේශක සුනිල් බණ්ඩාර මහතා සිදු කරන ලද පරීක්ෂණයකදී මෙම ගොවිපළේ තිබී ඉන්දුනීසියාවෙන් ගෙන්වන ලද කල් ඉකුත් වූ දියර බෝතලයක්ද සොයා ගැනීම විශේෂත්වයකි. මෙම ස්ථානයේ කාමරයක විශාල දියර පොහොර තොග බැරල්වල ඇසුරුම් කොට එම කාමරය කිසිදු අයෙකුට ඇතුළු වීමට නොහැකි වන අයුරින් දොරගුළුලා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාහු පැවැසූහ.


ගොවිපොළ පවත්වාගෙන යන දඹුල්ල දිගම්පත්හ ප්‍රදේශයේ ගොවි මහතා කියා සිටියේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ආචාර්ය මහාචාර්යවරුන් විදේශීය දූත පිරිස පොලිස් ආරක්ෂාව මත තම නිවසට පැමිණ තමන් නිෂ්පාදනය කරන දියර පොහොර තවදුරටත් වර්ධනය කිරීම සඳහා ඉන්දුනීසියාවේ විශේෂඥයන්ගේ සහාය ලබා දී පොහොර අත්හදා බැලීමට යම්කිසි දියරයක් ගෙන එම පොහොර නිපදවන බැරල්වලට දමා මුද්‍රා තැබූ බවය.

කෙසේ වෙතත් දඹුල්ල කෘෂිකර්ම උපදේශක සුනිල් බණ්ඩාර මහතා, එම ක්‍රියාවලිය සිදු කරන ශ්‍රී ලංකාවේ නියෝජිතයා බව පැවැසූ හීන්කෙන්ද නමැති අයෙකුට දුරකථනයෙන් කතා කොට සිද්ධිය පිළිබඳව විමසීමේදී කියා සිටියේ, මෙම ව්‍යාපෘතිය හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා

ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සියලුදෙනාගේ සහයෝගය අනුමැතිය මත සිදුකරන ලද්දක් බවය.


කෙසේ වෙතත් මෙම දියර වර්ගය මෙරටට නීත්‍යනුකූලව රැගෙන ආවේද ඒසඳහා ලියකියවිලි තිබේද එම දියරය පිළිබඳව පරීක්ෂණ පවත්වා ඇද්ද යන්න විමසීමේදී ඊට ඔහු සඳහන් කළේ එවැන්නක් තමන් නොදන්නා බවය. කෙසේ වෙතත් මෙම පොහොර ව්‍යාපෘතිය සිදුකරන ආයතනයේ සභාපතිවරයා සහ අනෙක් කණ්ඩායම් මේ වන විට ලංකාවේ නොමැති නිසා ඊට යම්කිසි පිළිතුරක් ලබාදීමට නොහැකි බවත්ය. මේ වන විට දියර පොහොර තත්ත්ව වාර්තා ලබා ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකසමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් යුද හමුදා බුද්ධි නිලධාරීර්න් සිදුකරන ලද දීර්ඝ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, මෙම දියර පොහොර නිෂ්පාදනය සඳහා යොදන ඉන්දුනීසියාවෙන් ගෙන්වන දියරය නීත්‍යනුකූලව මෙරටට ගෙන්වා නොමැති බවය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව දඹුල්ල කෘෂිකර්ම උපදේශක සුනිල් බණ්ඩාර මහතා සඳහන් කළේය.


පාරිභෝගික සේවා අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් ප්‍රධානියා සමග ඉදිරි කටයුතු පිළිබඳව විමර්ශනය කිරීමට දිනයක් යොදා ගැනීමට සිදුවන බවත් හෙතෙම සඳහන් කළේය. මේ අතර, යුද හමුදා බුද්ධි අංශ තොරතුරක් මත අනාවරණය වූවා යැයි පැවැසෙන දියර පොහොර ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවත්

පොහොර නිෂ්පාදනය සඳහා තමන් දැනුම්වත්ව කිසිදු දියරයක් මෙරටට ගෙන්වා නොමැති බවත්, හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. මේ පිළිබඳ 'අද' සිදුකළ විමසීමේදී ඒ මහතා සඳහන් කර සිටියේ, පැහැදිලිවම මැතිවරණය ඉලක්ක කර ගනිමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය වන බවක් දක්නට ලැබෙන බවයි. තමන් දන්නා පරිදි දියර පොහොර ආනයනය කළ නොහැකි බවද ඔහු පැවැසීය.

කෙසේ වුවද අනුමැතියකින් තොරව දියර වර්ගයක් මෙරටට ගෙන්වා දියර පොහොර වර්ගයක් සැකසීමේ ව්‍යාපෘතියක් පිළිබඳ තමන් මේ වන තෙක් කිසිදු දැනුම්වත් වීමක නොසිටි බව හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
(එස්.කරුණාරත්න)