රජයේ දේපළ භාවිත කිරීමේදී පෙර පැවති නරක පූර්වාදර්ශවලින් මිදී කටයුතු කරන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දුන්නේය.ගුණාත්මක රාජ්‍ය සේවාවක් සඳහා කැපවන ලෙසද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේ පැවැසුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (22) පෙරවරුවේ පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ පැවැති සාකච්ඡාවේ දී ය.
පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා යෝජනාවලියක් සකස් කර ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන්ට දැනුම් දුන්නේය.
පවතින සංක්‍රාන්තික කාලය තුළ ජනතාවගේ ජීවන තත්වය පහසු කිරීම සඳහා පළාත් සභාවලින් සිදුකළ හැකි උපරිම සේවාව ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන්ට ප්‍රකාශ කළේය. ජනතාවගේ ජීවිතය පහසු කිරීම සඳහා ආර්ථික සහ සමාජීය වශයෙන් කළ හැකි සියලු මැදිහත්වීම් පළාත් සභා වලින් සිදු කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා පළාත් ආණ්ඩුකාරවරුන්ට උපදෙස් දුන්නේය.දේශපාලන සංස්කෘතියක් ආරම්භ කිරීම සඳහා ලැබී තිබෙන ජනවරම පිළිබඳ සිහිපත් කළ ජනාධිපතිවරයා ජනතාව තැබූ එම විශ්වාසය පළුදු නොවන අයුරින් ක්‍රියාකරන ලෙසද මෙහිදී අවධාරණය කළේය.
උතුරු නැගෙනහිර ඉඩම් සම්බන්ධයෙන් සහ පළාත් සභා මුදල් භාවිතය සම්බන්ධයෙන්ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි.කන්තලේ ගොවි ජනතාවට දුන් ඉඩම් පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානයට යොමු විය.පළාත් සභා යටතේ සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවාවන්හි පවතින පුරප්පාඩු පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර ඊට සාධනීය විසඳුම් දීමට ද මෙහිදී තීරණය විය.
උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් චේතනායහන්, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් රත්නසේකර, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත කුමාර විමලසිරි යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.
( අංජුල මහික වීරරත්න)
0 Comments