anura-maddegoda-speaks

නීතිඥ සංගමයේ නව සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා සමග කළ සංවාදයක් පහත දැක්වේ.

නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස ඔබ තේරී පත්වුණා. ඒ පිළිබඳව සුඛපැතුම් එක් කිරීමට කැමැතියි. සංගමයේ ඉහළම තනතුරට පත්වීම සම්බන්ධව මොන වගේ හැඟීමක්ද තිබෙන්නේ. 

සුබපැතුම ඉතාම ආදරයෙන් පිළිගන්නවා. මම එකවරක් නීතිඥ සංගම් සභාපති තනතුරට ඉල්ලුම් කරලා ඡන්ද125 කින් පැරදුණා. ඉන්පසුව අවුරුද්දක් විතර යනකොට සංගමයේ සාමාජිකයන්ට තේරුණා ඔවුන් ගත් තීරණය වැරැදියි කියලා. ඉන් පසු ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ නීතිඥයන් රැසක් මගෙන් ඉල්ලීමක් කළා මේ තරගයට එන්න කියලා. ඒත් මම ඒක කාරුණිකව ඒ වෙලාවේ ප්‍රතික්ෂේප කළා. මට ඕන වුණේ විශේෂයෙන්ම කනිෂ්ඨ නීතිඥයන් වෙනුවෙන් මගෙන් ඉටුවිය යුතු සේවය ඉෂ්ඨ කිරීම. ඔවුන්ගේ  සුබසාධනය වෙනුවෙන් වැඩ කරන්න. අපේ රටේ නීතිය කඩා වැටී තිබෙන සමයක ඒක නැවත නගා සිටුවන්නට මට එවකට වුවමනා වුණේ. සාලිය පීරිස් නීතිඥ සංගමයේ සභාපති වීමෙන් පසු එතුමා මට සිදුවුණු අසාධාරණය දැකලා මාව නියෝජ්‍ය සභාපති ලෙස පත් කර ගත්තා. හිටපු සභාපතිවරයාට මූල්‍යමය චෝදනාවක් එල්ල වූ නිසා නීතිඥ ප්‍රජාවෙන් ඉල්ලීමක් ආවා ධුරයෙන් අයින්වෙන ලෙස. ඉන්පසු නියෝජ්‍ය සභාපතිවරයාත් ඉල්ලා අස්වීම සමග නිතරගයෙන් ඒකමතිකව නියෝජ්‍ය සභාපතිවරයා ලෙස මාව පත්කර ගත්තා. ඉන්පසු වැඩ බලන සභාපති ලෙස කටයුතු කරන බොහෝ දෙනාගේ මතය වුණේ හිටපු සභාපතිවරයාට විමර්ශනයක් යන නිසා මාව සභාපති ලෙස පත්කර ගන්න කියලා.




ඔබ පත්වෙන්නේ ඡන්දයකින් නොවේ නිතරගයෙන්. ඒ පිළිබඳ අදහසක් තියෙනවාද?


අපේ තිබෙනවා නීතිඥ සභික මණ්ඩලය. නීතිඥ මණ්ඩලයේ උත්තරීතර ආයතනය එයයි. එයත් ඡන්දය පත්වන නියෝජිතයන්ගෙන් තමයි සමන්විත වන්නේ. ඒ මණ්ඩලය තමයි සභාපතිවරයා ලෙස මාව පත්කළේ. නීතිඥවරුන්ගේ මතය පිළිබිඹු වෙන්නේ එම සභාවෙන්. එතනදි යෝජනා වුණේ මගේ නම විතරයි. ඒ අනුව නීතිඥ සංගමයේ මහ සභාව සභාපතිවරයා ලෙස මාව පත්කර ගත්තා.


ඔබකනිෂ්ඨ නීතිඥයන් වෙනුවෙන් යමක් කිරීමට බලාපොරොත්තු වන බව පැවසුවා. ඒ වෙනුවෙන් කුමන සැලසුමක්ද තිබෙන්නේ.


අපේ සංගමයේ ව්‍යවස්ථාවේ ප්‍රධාන අරමුණු දෙකක් තිබෙනවා. එකක් රටේ නීතියේ ආධිපත්‍ය අධිකරණයේ ස්වාධීනත්වය, ප්‍රජාත්නත්‍රවාදී අයිතීන්, මානව අයිතීන් ආරක්ෂා කිරීම. ඊට අමතරව රටේ ප්‍රශ්නයක් ඇති වූ අවස්ථාවක ඒ සම්බන්ධව කටයුතු කිරීම. දෙවැනි අරමුණ වන්නේ නීතිඥවරුන්ගේ සුබසිද්ධිය හා යහපත වෙනුවෙන් වැඩ කිරීම. මේ ප්‍රධාන අරමුණු දෙක වෙනුවෙන්ම මම කැපවීමෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉහත අරමුණු වෙනුවෙන් මම අතීතයේ ඉඳන්ම වැඩ කටයුතු කරලා තිබෙනවා. ඊට අමතරව  වසරකට කනිෂ්ඨ නීතිඥයන් 1000 ක් පමණ දිවුරුම් දීම සිදුවෙනවා. ඒ අයටත් අවශ්‍ය පහසුකම් සපයලා තමන්ගේ වෘත්තීය ජීවිතය අභිමානයෙන් කරගෙන යෑමට අවශ්‍ය පසුබිම සැකසිය යුතුයි. පසුගිය කාලේම මම ඒ වෙනුවෙන් හදපු සැලැස්ම විධායක සභාවට යොමු කරලා අනුමැතිය ලබාගන්න බලාපොරොත්තු වෙනවා.


අල්ලස හා දූෂණය පිටුදැකීම වෙනුවෙන් උපදේශන සේවා ව්‍යාපෘතියක් සඳහා ජපානයේ ජයිකා ආයතනය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ලබා දුන් කෝටි දෙකක ව්‍යාපෘතියේ මුදල් සම්බන්ධ චෝදනාවක් තමයි හිටපු සභාපති ඇතුළු නිලධාරි මඩුල්ලට එල්ල වුණේ. ඒ පරීක්ෂණ ඉවරද? නැතිනම් නව පත්වීම් එක්ක ඒ පරීක්ෂණ යට යයිද?

ඒ සිද්ධිය සම්බන්ධව නීතිඥ සංගමයේ සාමාජිකයන්ගේ විශාල කලකිරීමක් ඇතිවුණා. ඒ ජාත්‍යන්තර ආයතනයෙන් ලැබුණු මුදල් තමයි අක්‍රමිකතාවට ලක්වුණේ. ඒ මුදල් විනිවිදභාවයෙන් වියදම් කිරීමක් සිදුවෙලා තිබුණේ නැහැ. මේ මුදල් සම්බන්ධව උත්තරීතර සභාව දැනුවත් වෙලා තිබුණේ නැහැ. මේ සිදුවීම හෙළිදරව් වුණාට පසුව තමයි රටේම නීතිඥ ප්‍රජාව මීට විරුද්ධව නැගී සිටියේ. එවකට සභාපතිවරයාගේ ඒ ක්‍රියාව සම්පූර්ණයෙන්ම හෙළාදුටුවා. විවේචනයට ලක් කළා. ඊට පසුව තමයි නීතිඥ සංගමයේ උත්තරීතර සභාවේ අනුමැතිය ඇතිව පරීක්ෂණ මණ්ඩලයක් පත් කළේ. ලංකාවේ කීර්තිමත් නීතිඥයන්ගෙන් සමන්විත මණ්ඩලයක් තමයි පත් කළේ. ඒ පරීක්ෂණයේ දී සිදු කළ අධ්‍යයනයෙන් පසුව තමයි මෙහිදී මුදල් අක්‍රමිකතාවක් සිදු වී තිබෙන බවට වාර්තාවක් ඉදිරිපත් කළේ. ඉන්පසු හිටපු සභාපතිවරයාට ඉල්ලා අස්වීමට සිදුවුණා. ඉදිරියේදී නීතිඥ සංගමයේ සාමාජිකයන් මේ සම්බන්ධව ප්‍රශ්න මතු කළොත් නීතිඥවරුන්ගේ අභිප්‍රායන් ඉෂ්ට කර ගැනීමට කටයුතු කරනවා. අත්තනෝමතිකව ඒ සම්බන්ධව ක්‍රියා කිරීමට අපි බලාපොරොත්තු වන්නේ නැහැ. විධායක සභාවේ අදහස් විමසලා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස බහුතර මතයට අනුව කටයුතු කරනවා.




 පසුගිය කාලේ නීතිඥවරුන්ට එල්ල වූ චෝදනාවක් වන්නේ මත්ද්‍රව්‍ය පාතාලය මඩින්නට යාමේදී නීතිඥවරුන් එම ජාවාරම්කරුවන්ගෙන් විශාල ලෙස මුදල් ගැනීම නිසා එම සටනට බාධාවක් වී ඇති බව. ඒ සම්බන්ධව ඔබට පිළිතුරක් තිබෙනවාද?


ඒවා අභූත චෝදනා. පොලිසිය බාර හිටපු ඇමැතිවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද පාවිච්චි කරලා තමයි එම ප්‍රකාශය කළේ. නීතිඥවරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දිවුරුම් දෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීතියට අනුකූලව කටයුතු කරන බව. ඒ එක්කම අපට පරිචයක් තියෙනවා. යම් කිසි සේවාදායකයකු නීතිඥ සේවය ඉල්ලලා පැමිණියොත් ඒ සේවය ලබාදීම අප සතු වගකීමක්. අපි ටැක්සියකට පෝළිමේ සිටින විට මුලින් එන ටැක්සියේ තමයි ගමන යන්නේ. මත්ද්‍රව්‍ය පමණක් නොවේ කවුරු හෝ මිනියක් මරලා ආවත් අපේ සේවය ඉල්ලා සිටියහොත් එය ලබාදීමට අපි බැඳී සිටිනවා. ඒක අපේ යුතුකමක්. ඒ කාර්යය රටේ නීතිය අනුව සිද්ධ වන දෙයක්. මේ දැනට පවතින නීතිඥ වෘත්තිය 1800 ඉඳලා එන එකක්. දැනට අවුරුදු 225 කට ආසන්නයි. සමහර විට කිසියම් නීතිඥයකුට පෞද්ගලිකව ඒ නඩුවට පෙනී සිටීමට බැනම් කියලා අයින්වෙන්න පුළුවන්. නීතිඥවරු නිසා මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලන්න බැරිවුණා යැයි කවුරු හරි කියනව නම් ඒක බොරුවක්. ඒකට හේතුව වී තිබෙන්නේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් තමයි දේශපාලනයෙනුත් මත්ද්‍රව්‍යවලට විශාල ආශිර්වාදයක් ලැබෙනවා. පසුගිය කාලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කවර ආකාරයටද ආරක්ෂා කළේ කියලා අපි දුටුවා. අපේ යුතුකම වන්නේ සේවාදායකයාගේ උපදෙස් මත අධිකරණ කටයුතුවලට සහය දීම තමයි. ඒ මූලික වගකීම උපදෙස් මත කරන දෙයක්. අපිට කිසිම දෙයක් වවාගෙන කන්න උවමනාවක් නැහැ. සමහර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොලිස් අත්අඩංගුවේ සිටියදීම මරණයට පත්වුණා. ආයුධ හොයන්න එම සැකකරුවන් මධ්‍යම රාත්‍රියේදී තමයි එක්කන් ගියේ. පොලිස් ආරක්ෂාව යටතේ සිටින විට තමයි මේවා වුණේ. නීතිඥවරුන්ට එල්ල කරන චෝදනා යුක්ති සහගත නැහැ.


පසුගිය අරගල සමයේ නීතිඥවරුන් රටේ ජනතාවගේ ආදරයට පාත්‍රවුණා. මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටියා. අත්අඩංගුවට ගත් අරගලකරුවන්ට සහය දැක්වූවා. ඒත් හිටපු නීතිඥ සංගම් සාමාජිකයන්ට එල්ල වන චෝදනා එක්ක කිරි කළයට ගොම බිංදුවක් වැටුණා වගේ නේද?


ඒ කාලේ අපිත් ඒවායේ කොටස්කරුවන් වී සිටියා. පැගිරිවත්තේ උද්ඝෝෂණයේදී අරගලකරුවන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන පසුදින අධිකරණයට ඉදිරිපත් කළ විට නුගේගොඩ අධිකරණයථි නීතිඥයන් පිරිස රැස්වුණා. ඒ ගණන 600කට අධිකයි. එතන අපේ හිටපු සංගම් සභාපති සාලිය පීරිස් මහතා ඇතුළු පිරිසකුත් සිටියා. එදා රාත්‍රි 11.00යි අධිකරණයේ කටයුතු අවසන් වෙද්දී. ඒ හරහා විශාල පිබිදීමක් රටේ ඇතිවුණා. ජනතාවට විශ්වාසයක් ඇතිවුණා නීතිඥයන් ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව. අපේ දායකත්වය නොමිලේ ලබා දුන්නේ. අපට අවශ්‍ය වුණේ රටට සිදුවෙමින් තිබූ හානිය වළක්වා ගැනීම. එතනින් පසු නීතිය, අභිමානය ඉහළටම නැග්ගා. අරගලයේ සිටි තරුණ තරුණියන්ට අපේ ආශිර්වාදය නිරන්තරයෙන් හිමිවුණා. අපේ හයිය අරගලකරුවන්ට ලොකු හයියක් වුණු බව පැහැදිලියි. එහෙත් පසුගිය දවසේ සිදු වූ යම් යම් සිදුවීම් නිසා අපේ අභිමානයට යම් ගැටලුවක් වුණා. මගේ අරමුණ වන්නේ ඒ බිඳ වැටුණු අභිමානය නැවත යථා තත්ත්වයට පත් කිරීම. ජන ජීවිතයේ හා නීතිඥ වෘත්තියේ යහපතට, ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ කටයුතු කිරීමට බලාපොරොත්තු වනවා. ඒක කරන්න පුළුවන් කියන විශ්වාසය මට තිබෙනවා.


පසුගිය කාලයේ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ සමහරු කතා කළා.රටේ ඉදිරි ගමනට මේ කාරණාව මොන තරම් වැදගත්ද? ඕනැම රටකට නීතියේ ආධිපත්‍ය අත්‍යවශ්‍යයි. රටේ ඉදිරි ගමන, රටේ අනාගතය, රටේ අභිවෘද්ධිය, ප්‍රගතිය ආදී හැම දෙයක්ම රඳා පවතින්නේ නීතියේ ආධිපත්‍ය නිසා. නීතිය කඩා වැටිලා නම් ආයෝජකයෝ කිසිම රටකට යන්න කැමැති නැහැ. ලංකාවටත් ඒක පොදුයි. අපි තවමත් දියුණු වෙමින් පවතින රටක්. 1948 අපට නිදහස ලැබෙන කොටත් කිව්වේ දියුණුවෙමින් පවතින රටක් කියලා. අපි අදත් අවුරුදු 75ක් ගිහිල්ලත් කියනවා අපි දියුණු වෙමින් පවතින රටක් කියලා. අපට පස්සේ නිදහස ලැබුණු සිංගප්පූරුව, මැලේසියාව ඔක්කොම අපි අභිබවා ගිහින් තියෙන්නේ. ඒ රටවල් ඒ විදියට දියුණු වුණේ නීතියේ ආධිපත්‍ය තහවුරු වූ නිසා.




ආර්ථික සමාජ දියුණුව ඇති කරන්න නීතියේ ආධිපත්‍ය අවශ්‍යයි. නීතියක් නැති නම් කවුරුවත් මේ රටට එන්නේ නැහැ. සංචාරක ව්‍යාපාරය කඩා වැටෙනවා. සමහරු ආයෝජනයවලට කොමිස් ඉල්ලන්න ගත්තා. ඉතින් එහෙම රටකට හරියයිදූ දැන් නැවත නීතියේ ආධිපත්‍ය යථා තත්ත්වයට පත්වී තිබෙනවා. මේ තත්වය දිගටම පැවතුනහොත් රටේ අනාගතය සුබවාදී පැත්තට වෙනස් කරන්න අපිට හැකියාව ලැබෙනවා. රටේ සුබසිද්ධිය, රටේ ප්‍රගතිය දකින්න අපිත් කැමැතියි.


සිස්ටම් වෙනසක් පිළිබඳ අපේ රටේ තරුණ ප්‍රජාව කතා කළා. අධිකරණ පද්ධතියේත් සිදුවියයුතු වෙනස්කම් තිඛෙනවාද?


තරුණ තරුණියන්ගේ අභිප්‍රාය වුණේ සිස්ටම් එක වෙනස් කිරීම. ඒ කියන්නේ මේ පවතින ක්‍රමය වෙනස් කිරීම. පසුගිය දිනවල ඇතිවූ දේශපාලන පෙරළිය එක්ක සිස්ටම් එකේ යම් වෙනසක් සිදුවුණා. පැවතුණු දේශපාලන ක්‍රමය, සමාජ ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් වුණා. ඒ වෙනස් වුණේ ගතානුගතිකව තිබුණු ක්‍රමවේදය. දැන් රට අලුත් මාවතකට යොමුවී තිබෙනවා. මේ පත්වූ රජය ඉතාම ප්‍රගතිශීලි හා ගුණාත්මක වශයෙන් වටිනා තීරණ දැනටම අරන් තිබෙනවා. ඒ ජනතාවගේ යහපත උදෙසා. මේ ආරම්භයක් පමණයි. මම මේ දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කතා කරන කෙනෙක් නෙවෙයි. මම මේ කරන්නේ රටේ ජනතාව වෙනුවෙන්. නීතිඥ සංගමය වෙනුවෙන්. අධිකරණය හැම විටම තමන්ගේ ස්වාධීනත්වය රැකගත් ආයතනයක්. ඒ ස්වාධීන බව ඉදිරියටත් රැකගත යුතුයි. අධිකරණ කටයුතු කරන්නෙත් කිසියම් නීතිමය රාමුවක් තුළ. ජනතාවගේ අභිප්‍රායන්, අරමුණු තුළ

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගනිමින් ඉස්සරයට ගෙන යාමට අධිකරණයෙන් වගකීමක් තියෙනවා.


බලයට පත්වූ නව ආණ්ඩුව සම්බන්ධව නීතිඥ සංගමයට සුබවාදී අදහසක් තිඛෙනවාද?


නීතියේ ආධිපත්‍ය, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි පෙනී සිටියා. අපි ඉදිරියටත් ඒ වෙනුවෙන් අපි පෙනී සිටිනවා. නව ජනාධිපතිවරයෙක් පත් වුණාම නීතිඥ සංගමයේ අවසරය ඇතිව ජනපතිට සුබපතලා පණිවුඩයක් නිකුත් කළා. ඒ පණිවුඩය ජනපතිවරයාත් දකින්නට ඇති. ඒ නිවේදනයෙන් අපි සඳහන් කළා රටේ අභිප්‍රායන් අනුව කටයුතු කළ යුතුයි කියලා. පවතින රජයකට ගැතිකම් කරන්න අපි ලෑස්ති නැහැ. ඕනෑම රජයක් කරන ගුණාත්මක දේවල්වලට නීතිඥ සංගමයේ සහයෝගය ලබාදෙනවා. රජයක් විසින් මිනිස් අයිතිවාසිකම් කප්පාදු කිරීමට අධිකරණයේ ස්වාධීනත්වය කෙළෙසීමට කටයුතු කළොත් අපි ඊට විරුද්ධ වෙනවා.


විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් නීතිඥ සංගමය පසුගිය කාලේ බරපතළ විදියට පෙනී සිටියා. ඒ වෙනුවෙන් හඬක් නගන්න සූදානම්ද?


මේ රජයට වරමක් ලැබුණේ වත්මන් ආණ්ඩුව ලබා දුන් පොරොන්දු නිසා. ඒ අතර ප්‍රධාන පොරොන්දුවක් තමයි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම. මේ සම්බන්ධයෙන් විශාල කතිකාවක් ඇතිවී තිබෙනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ප්‍රතිෂ්ථාපනය කිරීමට නීතිය අනුව ජනවරමක් අවශ්‍යයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් විධි විධාන සංශෝධනය කිරීමට පාර්ලිමේන්තු බහුතරයට අමතරව ජනමත විචාරණයකට යා යුතුයි. අතීතයේදීත් මේ සම්බන්ධව වරමක් ඉල්ලා සිටි අවස්ථා තිබුණා. ඒ වරම අනුව තමයි සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයක් විදියට සමන්විත වෙලා 1972 දි නව ව්‍යවස්ථාව නිර්මාණය වුණේ. මේ ආණ්ඩුවටත් ඉදිරි ඡන්දයේ ජනවරම බලලා යම් කිසි තීන්දුවක් ගන්න පුළුවන්. මේ සම්බන්ධව අපෙන් සහයෝගයක් ඉල්ලුවොත් ඒක ලබා දෙන්න සූදානම්. රටේ කතිකාවක් ඇතිවී තිබෙනවා විධායක ජනාධිපති ක්‍රමය රටේ දියුණුවට අභිවෘද්ධියට අහිතකරයි කියලා. ඒ ගැන අපිත් කල්පනා කරලා අවශ්‍ය සහයෝගය දෙන්න ලෑස්තියි.


රටේ ඕනෑම සංස්ථාවක් විවේචනය කිරීමට අපට හැකි වුණත් අධිකරණය විවේචනය කිරීමේ හැකියාව අපට නැහැ නේද? වෙන රටවලට මේ තත්වය කොහොමද බලපාන්නේ?

අධිකරණ තීන්දුවකට එකඟවෙන්නත් පුළුවන්. එකඟ නොවෙන්නත් පුළුවන්. ඒ තීන්දුවට එකඟ නැත්නම් යම් යම් නීතිමය ප්‍රතිපාදන තියෙනවා. අභියාචනාධිකරණ තිබෙනවා. තමන් අතෘප්තිමත් නම් ඊට එරෙහිව තීන්දු ගැනීමේ හැකියාව තිබෙනවා. අනෙක් රටවල් නඩු තීන්දු සම්බන්ධව කතිකාවක් ඇතිවෙනවා. අපි මේ සියල්ල දිහා මැදිහත්ව බැලිය යුතුයි.


(නීතිඥ සංගමයේ නව සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා
සමග ලංකාදීපය කළ සංවාදය -අමිල චින්තක ගමගේ)