anuradhapura-incident

නිධානයකින් ගොඩ ගත්තේ යැයි කියන කිලෝ දෙකක් පමණ බර රන්කාසි දහසකට වැඩි ප්‍රමාණයක් සහ කිලෝ හතරක් පමණ බර දඹරන් බුදු පිළිමයක් මහනුවර ව්‍යාපාරිකයකුට රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට විකිණීමට තැත් කළ දෙදෙනකු ඊයේ (7) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.




අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර පරසන්ගස්වැව සහ දේවානම්පියතිස්සපුර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 60 සහ 52 වියේ පසුවන්නන් දෙදෙනෙකි. මෙම ව්‍යාපාරිකයා ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පුවත්පතක පළ කර තිබූ දැන්වීමකින් දුරකතන අංකය ලබාගෙන මෙම ව්‍යාපාරිකයාට ඇමතුම් ලබාගත් සැකකරුවන් පවසා ඇත්තේ රුපියල් කෝටි පහක් පමණ වටිනා දඹරන් පිළිමයක් රන්කාසි තොගයක් තමන් නිධානයකින් ගොඩ ගත් බවත්, කෝටි පහක් වටිනා එම නිදන් වස්තු රුපියල් එක්කෝටි හැට ලක්ෂයකට මිල අඩුකර අලෙවි කරන බවය.




අනතුරුව එයට එකඟ වූ ව්‍යාපාරිකයා එම රන්කාසි සහ පිළිමය පරීක්ෂා කර බලා මිලට ගැනීමට යාමේ දී පොලිස් උපාය දූතිකාවක යොදවා අනුරාධපුර පැරණි බස් නැවතුම් පොළ ආසන්නයේ දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.මෙම රන්කාසි තොගය කිලෝ දෙකක් පමණ වන අතර එහි රන්කාසි 1000 කට වැඩි ප්‍රමාණයක් තිබූ බවත්, එම රන්කාසිවල පැරණි විවිධ අක්ෂර යොදා තිබූ බවත් පොලිසිය කියයි.




මෙහිදී අත්අඩංගුවට ගත් දඹ රන් යැයි කියන බුදු පිළිමයේ සුවඳ හමන තෙලක් ගල්වා තිබූ අතර එම පිළිමයේ සිවුරේ රැළි අතර පස් තිබූ බවත් එම 3 පිළිමය පොළොව යටින් ගොඩ ගත් බව ඇඟවීමට සැකකරුවන් සූක්ෂම ලෙස පිළිමයේ පස් තැන්පත් කරන්නට ඇති බවට සැක කරන බවත් පොලිසිය කියයි. මෙම කාසි සහ බුදු පිළිමය පුරා විද්‍යා වටිනාකමක් තිබේදැයි දැන ගැනීම සඳහා පුරා විද්‍යා වාර්තාවක් ලබා ගැනීමට නියමිත බව පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.අත්අඩංගුවට ගැනුණු දෙදෙනා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.
( බී.ජී. චතුරංග)