එම තානාපති කාර්යාලය පවසන්නේ එම ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය සංචාරක ස්ථාන වලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට ඔවුන්ට විශ්වසනීය තොරතුරු ලැබී ඇති බවයි.
සංචාරක උපදේශනයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපති කාර්යාලය පවසන්නේ යම් හෝ සැකකටයුතු කටයුත්තක් දුටුවහොත් 119 දුරකථන අංකයට දැනුම්දෙන ලෙසට ය.
මේ අතර ආරුගම්බේ ප්‍රදේශයේ ආරක්ෂාව තර කිරීම සඳහා පියවර ගෙන ඇතැයි පොලීසිය පවසයි.
මේ වනවිට පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 500ක් පමණ ආරුගම්බේ සංචාරක කලාපයේ ආරක්ෂාව තර කිරීම සඳහා යවා ඇති බව ද වාර්තා වෙයි.
ප්‍රදේශයේ ආරක්ෂාව තරකිරීම සඳහා බුද්ධි අංශ සහ අනෙකුත් ආරක්ෂක අංශ ද අවධානයෙන් පසුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
නිහාල් තල්දූව මහතා පැවසුවේ, ආරුගම්බේ සහ පොතුවිල් ප්‍රදේශවල ඊශ්‍රායල ජාතිකයින් සර්ෆින් ක්‍රීඩාව නිසා වැඩිපුර ගැවසෙන බවත් ඔවුන්ට යම් අනතුරක් සිදුවිය හැකි බවත් පසුගිය දිනවල තොරතුරු ලැබී තිබූ බවත් ය.
මේ අතර කොළඹ හෝ වෙනත් ප්‍රදේශයක මෙවැනි අනතුරක් පිළිබඳ බුද්ධි වාර්තා ලැබී නොමැති බවත් ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසීය.
මේ අතර මාධ්‍ය අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ,
"ඒ ආරුගම්බේ ප්‍රදේශයේ තිබෙනවා ඊශ්‍රායල ජාතිකයින් විසින් ස්ථාපනය කළ ගොඩනැගිල්ලක්. යම්කිසි ශාලාවක් වැනි ස්ථානයක්. ඊශ්‍රායල ජාතිකයින් බොහෝවිට ආරුගම්බේ ප්‍රදේශය ඔවුන්ගේ ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයක්.
පොතුවිල් සහ ආරුගම්බේ. විශේෂයෙන්ම සර්ෆින් නිසා. ඊශ්‍රායල ජාතිකයින් ඒ ප්‍රදේශයට කැමතියි. ඒ නිසා තමයි ඔවුන් යම්කිසි ස්ථානයක් එහි ස්ථාපනය කර තියෙන්නේ. පසුගිය දිනවල යම් යම් තොරතුරැ ලැබිලා තිබුණා ඒ ඊශ්‍රායල ජාතිකයින්ට යම් ආකාරයක අනතුරක් විය හැකි බවට. ඒ නිසා ප්‍රදේශය භාර SDIG ඊට අවශ්‍ය මූලික පියවර ගෙන තිබුණා. මාර්ග බාධක යොදලා ප්‍රදේශය ආරක්ෂා කිරීම. වාහන, පුද්ගලයින් විටින් විට පරීක්ෂා කිරීම් කළා.
සර්ෆිං කිරීමට ඇති උනන්දුව නිසා ඊශ්‍රායල සංචාරකයින් විශාල ප්‍රමාණයක් ආරුගම් බොක්ක වෙත පැමිණ තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස එම ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් ද අත්පත් කරගෙන තියනවා. මෙම ප්‍රදේශය දැනට ඊශ්‍රායල සංචාරකයින් බහුලව ගැවසෙන ප්‍රදේශයක් බැවින් ඔවුන්ට එල්ල විය හැකි තර්ජන පිළිබඳ තොරතුරු පසුගිය කාලයේ අපට ලැබී තිබුණා. "
සමාජ ක්‍රියාකාරී රුකි ප්‍රනාන්දු පසුගිය සතියේ අරුගම් බේ ප්‍රදේශයේ ඊශ්‍රායල සංචාරකයින් විසින් 'සිනගෝගයක්' ස්ථාපිත කිරීම ගැන අවධානය යොමු කර තිබුණි.
ඔහු "X" හි සඳහන් කර තිබුනේ පසුගිය සතියේ අරුගම් බේ හි 'හීබෲ' භාෂාවෙන් ලියන ලද පුවරු සහිත කඩ සාප්පු, අවන්හල් සහ විවිධ ස්ථාන ගැන වාර්තා වී ඇති බවයි.
ප්‍රදේශයේ ආරංචි මාර්ග අනුව, ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින ගැටුම හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයන්ට සතුරුකම් දක්වන්නන්ගෙන් සිදුවිය හැකි ප්‍රහාර වැළැක්වීම සඳහා "සිනගෝගය" අසල පොලිස් සහ ප්‍රධාන මාර්ගයේ STF මෙහෙයුම් සිදුකර ඇති බව ඔහු තවදුරටත් පැවසීය.
සිනගෝගයේ ඡායාරූප බෙදා ගනිමින්, එම සමාජ ක්රියාකාරිවරයා පැවසුවේ එය පංකා සහිත, තහඩු හා ෂීට් වහලයක් සහිත, බිත්ති හෝ දොරවල් නොමැති කුඩා මාර්ගයක පිහිටි ගොඩනැගිල්ලක් බවයි.
0 Comments