arugambe-derana-tv

 ආරුගම්බේ ප්‍රදේශයේ සිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කරමින් ප්‍රහාරයක් එල්ල කරන බවට තොරතුරු ඉන්දීය බුද්ධි අංශ විසින් ලබා දුන් බවට එක් රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති ‍ඔස්සේ පමණක් පළවූ වාර්තා අසත්‍ය බව මහජන ආරක්ෂක විජිත හේරත් මහතා අද (24) තහවුරු කළේය.

ඔහු නාලිකාවේ නම සඳහන් නොකර මෙම කරුණු අසත්‍ය බව ප්‍රකාශ කළේ, අමාත්‍යංශයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ලංකාවේ සිටි‍න දෙන්නෙකු මෙයට සූදානම් කර ඇති බවටත් ප්‍රහාර සඳහා රුපියල් ලක්ෂ 50ක් ලබා දුන් බවටත් මෙකී නාලිකාව ඔස්සේ ඊයේ ප්‍රචාරය කර තිබුණි.
මෙම මාධ්‍ය වාර්තා අසත්‍ය බැවින් නිවැරදි කරන්නට දන්වා සිටියා සේම මීට වඩා වගකීමකින් මාධ්‍ය හසුරුවන ලෙස ඇමතිවරයා ඉල්ලා සිටියේය.
ඇමති මෙසේ කීය.


"සැකපිට තොරතුරු මත පදනම්ව තුන්දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයගෙන් ප්‍රශ්න කෙරෙමින් තිබෙනවා. ඔවුන් යම්කිසි කැලඹිලිකාරී තත්ත්වයත් ඇතිකරන්න දැනුවත්ව හෝ නොදැනුවත්ව උත්සාහ කරලා තියෙනවාද කියන එක ගැන. ඒ අයගෙන් තොරතුරු ලබාගනිමින් තිබෙනවා. කල්ඇතිව මේවා කියන්න ගියොත් පරීක්ෂණ කටයුතුවලට බාධාවක් වෙයි. ඔවුන් සතුව කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් තිබී සොයාගෙන නැහැ."

මෙහිදී තවදුරටත් අදහස් දැක්වු අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ  ආරුගම්බේ, බණ්ඩාරවෙල ඇල්ල, මාතර වැලිගම, අහුන්ගල්ල වෙරළ තීරය වැනි ප්‍රදේශවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදීමට පියවර ගත් බවයි.
මාධ්‍ය වාර්තා ගැන කියමින් මෙසේ කීය.
“ඉන්දීය බුද්ධි අංශ මඟින් එහෙම දෙයක් සිදුවුණේ නැහැ. ඒක වැරදි ප්‍රවෘත්තියක්. මාධ්‍ය ආයතනවලට මේ ගැන නිවැරදි කිරීම් කරන්න කියලා කිව්වා. මුදල් ප්‍රමාණයන් කතාත්..එහෙම එකක් නැහැ. මේවා සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ නිසා අපි මාධ්‍යවලින් ඉතා වගකීමෙන් ඉල්ලා සිටිනවා. මේ තත්ත්වය මත යම් යම් වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්න එපා. ඒකෙන් ජනතාව කලබල වෙනවා. ඒ නිසා වගකීමෙන් පරිස්සම් සහගත ලෙස ප්‍රචාරය කරන්න කියන ඉල්ලීමත් සිදු කරනවා.”

දෙරණ ටීවී නාලිකාවේ ප්‍රවෘත්ති ප්‍රකාශය ඔස්සේ මෙම ප්‍රබන්ධාකාර අසත්‍ය තොරතුර ප්‍රචාරය වූයේ මෙසේය.

එවන් පසුබිමක ආරුගම්බේ ප්‍රදේශයේ රැඳීසිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලකිරීමේ සැලසුමක් ඇතැයි ඉන්දීය බුද්ධි අංශ පසුගිය දිනක මෙරට ආරක්ෂක අංශ දැනුම්ත් කර ඇත.

අදාළ ප්‍රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර කාලය තුළදී එල්ලවිය හැකි බවට ඉන්දීය බුද්ධි අංශ දැනුම්දී තිබේ.
ප්‍රහාරය එල්ල කිරීම සඳහා ලාංකික පුද්ගලයින් දෙදෙනෙකු සූදානමින් සිටින බවත්, ඔවුන් දෙදෙනාගෙන් අයෙක් ඉරාකයේ සිට පැමිනි අයෙක් බවටත් බුද්ධි අංශ වෙත වාර්තාවී තිබෙනවා. ප්‍රහාරය සඳහා මෙම දෙදෙනාට රුපියල් ලක්ෂ 50 ක පමණ මුදල් ලබාදී ඇතැයිද එම තොරතුරු වල සඳහන්. ඒ අනුව අදාළ පුද්ගලයින් දෙදෙනාගේ නම් ගම් සහිතව සියලු තොරතුරු ඉන්දීය බුද්ධි අංශ මගින් මෙරට ආරක්ෂක අංශ වෙත ලබාදී තිබෙනවා.

එම තොරතුරුවලින් අනාවරණ කර ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ නායකයන් පසුගිය දිනවල ඊශ්‍රායලය මගින් ඝාතනය කිරීම හේතුවෙන් ඊට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය මෙරට තුළ දියත් කිරීමට සැලසුම් කර ඇති බවය.