bad-weather

අයහපත් කාලගුණය නිසා දිස්ත්‍රික්ක 12ක පුද්ගලයින් 134000 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
කොළඹ,ගම්පහ,කළුතර,කිලිනොච්චිය,කෑගල්ල, රත්නපුර, ගාල්ල, හම්බන්තොට, පොළොන්නරුව,නුවර, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් මෙලෙස පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන්කරයි.

ක්ෂණික ජල ගැලීම්,අධික සුළං,අකුණු සහ ගස් කඩා වැටීම් ආදී ආපදා තත්වයන් හේතුවෙන් මෙම පිරිස පීඩාවට පත්ව සිටිති.වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක වලය.ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 200,67කට අයත් පුද්ගලයින් 80,529ක් පීඩාවට පත්ව සිටින අතර,කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 10,904 කට අයත් පුද්ගලයින් 40,231 ක් පීඩාවට පත්ව සිටිති.


ජල පහරට හසුව කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවල පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇත.

48 හැවිරිදි පුද්ගලයෙකු ඉකුත් 11 වැනිදා පානදුර - අඟුරුවාතොට මාර්ගයේ ගමන් කරමින් සිටියදී හල්තොට බෝධිය ආසන්නයේදී ජලය පිරී තිබූ කුඹුරකට වැටී මියගොස් ඇති අතර,කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැලිහිද ග්‍රාම නිලධාරී වසමේදී ඉකුත් 10 වැනිදා ඇළකට වැටී අතුරුදහන්වූ පුද්ගලයාගේ මළ සිරුර පෙරේදා (12 වැනිදා) උදෑසන සොයාගෙන තිබේ.

වැසි තත්වය තව දුරටත් වර්ධනය වුවහොත් දැනට ක්‍රමයෙන් අඩු වෙමින් පවතින ගංවතුර තත්වය නැවත වර්ධනය වියහැකි බව වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ) එස්.පී.සී.සුගීෂ්වර පැවසීය.

දැනට පවතින අයහපත් කාලගුණික තත්වය ඉදිරි දින කීපය තුළදීද පැවැතිය හැකි බවට කාළගුණික අංශ විසින් අනතුරු අගවා තිබෙන බවත්,ම

ේ නිසා කළු,කැලණි,අත්තනගලු ඔය සහ ගිංගගේ ධාරා ප්‍රදේශ වලට ඉදිරි කාලයේදී මිලි මීටර් 100 ක පමණ වැසි ඇද හැළුණහොත් පහසුවෙන් නැවත ගංවතුර තත්ත්වය වර්ධනය වීමේ හැකියාව ඇතැයිද ඔහු සඳහන් කළේය.
ජලයෙන් යටවී තිබෙන මාර්ගවල වාහන ධාවනය සේම ගමන් කිරීම ඉතා අනතුරුදායක බවද වාරිමාර්ග අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේය.

අධික වැසි සමග ගම්පහ,කොළඹ,කළුතර,ගාල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක ආශ්‍රිතව ක්ෂණිකව නාගරික ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බවද ඔහු අනතුරු අඟවන්නේය.

උදෑසන කාලයේදී පවතින වැසි තත්වය අද (14 වැනිදා) සිට අඩු වූවත්,සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ පවතින වැසි තත්වය මෙම 18 වැනිදා දක්වා පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් අතුල කරුණානායක පැවසීය.

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මෙම වැසි තත්ත්වය බලපාන බවද අධ්‍යක්ෂක ජනරාල්වරයා කීවේය.අකුණු සහිත මෙම වර්ෂාව මිලි මීටර් 75 ත් 100 ත් අතර අගයක පවතින බවත්,කෙටි කාලයක් තුළදී වැඩි සීඝ්‍රතාවයකින් මෙම වැසි ඇද හැලෙන බවද ඔහු සඳහන් කළේය.