battaramulla-incident

නේවාසිකාගාර සපයන්නන් ඒවා  ලබාගන්නන්ගේ ජීවිත තුට්ටු දෙකට දමා ආරක්ෂාව සම්බන්ධයෙන්  අබමල් රේණුවක තැකීමක් නොකර මාසය අන්තිමට මුදල්ම පමණක් ලබා ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් සිදු වූ   අවාසනාවන්ත අකල් මරණයක තොරතුරු බත්තරමුල්ලෙන් වාර්තා වීය.

තලංගම පොලිසිය පවසන පරිදි සිද්ධිය මෙසේය.

අඩක් වැඩ නිම කරන ලද දෙමහල් නිවසේ උඩුමහලේ පිටුපස අනාරක්ෂිත  කොටසින් පහළට වැටී  රූමත් අවිවාහක උපාධිධාරී  තරුණියක් මියගොස් ඇත.


අනතුරින් මියගොස් ඇත්තේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර ලෙස සේවය කළ නිවිතිගල,  ගාල්ලගේ මණ්ඩිය පදිංචිව සිටි හංසනි භාග්‍යා ජයතිලක නැමැති  (30) හැවිරිදි  තරුණියයි

මියගිය තරුණිය  තවත් තරුණියන් තිදෙනෙකු සමග බත්තරමුල්ල ප්‍රධාන වීදිය සම්පත් පෙදෙසේ   දෙමහල් නිවසේ උඩුමහලේ පිටුපස කොටසේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින අතර  ඉකුත්  සිකුරාදා (11) ඇය රැකියාව නිමවා සවස 6.40  ට පමණ පැමිණ ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

ඇය සමග කාමරයේ වෙසෙන  ඉඩම් රෙජිස්ට්‍රාර්  කාර්යාලයේ මිතුරිය  ද රැකියාව නිමවා  ඒ වෙනකොට පැමිණ සිට ඇති අතර මියගිය තරුණිය ඇය අමතා පවසා ඇත්තේ රාත්‍රී ආහාරය සඳහා  ඇය රැගෙන එන ලද ඉස්සෝ මාළු පිළියෙල කරන බවත්ය

ඒ අතරතුර එම මිතුරිය විසින් නාන කාමරයට වැදි ඇඟ සෝදා පිරිසුදු වන අතරවාරයේදී  කෑ ගැසීමක් සමග ඇසුණු විශාල ශබ්දයක් සමඟම ඇය නාන කාමරයෙන් පිටතට පැමිණ  සෝදිසි කිරීමේදී මිතුරිය පෙනෙන්නට නොසිටි බැවින් කාමරය  තුළද බලා අනතුරුව උඩුමහලේ සිට නිවස පිටුපස දොරින්  පහත බැලීමේදී කිසියම් අයෙකු වැටී සිටුනු දැක බිම් මහලේ පදිංචි නිවස හිමිකරුවන් වෙත  පවසා ඇතැයි පොලිසිය කියයි



අනතුරුව ඔවුන් සමග පිටුපසට ගොස් බැලීමේදී මියගිය කළමනාකාර සහකාරවරිය දෙමහල් නිවසේ පළමු මහලේ පිටුපස කොටසේ  දමා තිබූ ප්ලාස්ටික් කෑන් මත  උඩුබැලි  අතට වැටී සිට ඇති අතර ඇයගේ වම් කණින් සහ නහයෙන් රුධිරය වෑහෙන අයුරු  දක්නට ලැබුණු බව එම මිතුරිය පොලිසියට කරන ලද ප්‍රකාශයක සඳහන්ය

ඇය විසින් සුද්ද කරන ලද ඉස්සො මාළුවන්ගේ ඉවතලන කොටස් අඩංගු බෑගයද එම ස්ථානයේ වැටී තිබූ  බව පොලිසිය කියයි

නිවෙස් හිමිකාරියගේ ඥාතිපුත්‍රයකු විසින් බරපතළ තුවාල ලද  තරුණියව ඒ ආසන්නයේ නිවසක් ඉදිරිපිටට රැගෙන ගොස් 1990 සුවසැරිය  ගිලන් රථය මගින්  කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව පෙරේදා (13) පෙරවරුවේ වාට්ටු අංක 73  හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි

මියගිය තරුණිය   සුද්ද කරන ලද ඉස්සෝ අවශේෂ කොටස් උඩුමහලේ පිටුපස කොටසේ තබා ඇති භාජනයට දැමීම සඳහා යාමේදී ඇයගේ පය ලිස්සා ගොස් උඩුමහලින් පහළට වැටෙන්නට ඇති බවට බොහෝ දුරට සැක කළ හැකි යැයි පොලිසිය සඳහන් කරයි

මියගිය තරුණියක් මීට පෙර ඉඩම් රේජිස්ටර් කාර්යාලයේ සේවය කර ඇති අතර වසර දෙකකට පමණ ඉහතදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණ ඇති බව  ආරංචි මාර්ග සඳහන් කරයි

 කොළඹ ජාතික රෝහලේ පැවති පශ්චාත් මරණ කටයුතුවලින් අනතුරුව දේහය ඥාතීන් වෙත භාරදීම  සිදුකෙරිණි
( බිමල් ශ්‍යාමන්)