battaramulla-seelaratane-case

මෙවර ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් තිදෙනකු සිය වාර්තාවන් ලබාදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. බත්තරමුල්ලේ සීලරතන හිමි, සරත් කීර්තිරත්න හා අරියනේත්තිරන් පාක්කිය සෙල්වම් යන අපේක්ෂකයන් සහ ඔවුන්ගේ නාම යෝජනා කළ ඡන්ද හිමියන් මෙසේ අදාළ ආදායම් වියදම් වාර්තා වෙන වෙනම සකස්කර භාරදී නොමැති බව එම කොමිසම සඳහන් කරයි.



මැතිවරණ වියදම් නියාමන පනත ප්‍රකාරව මැතිවරණ කොම්ෂන් සභාව වෙත සිය මැතිවරණ ප්‍රචාරක ආදායම් වියදම් වාර්තා ලබාදීමට ලබා දුන් කාලය 13 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00න් අවසන් විය. ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කොට දින 21ක කාලයක් ඒ සඳහා ලබා දී තිබිණි. මේ අතර අපේක්ෂකයන් 15ක්ම සිය ආදායම් වියදම් වාර්තාවන් භාරදී ඇත්තේ එම වාර්තාව ලබාදීමට තිබූ අවසන් දිනයේදීය.

අපේක්ෂකයන් ආදායම් වියදම් වාර්තා ලබාදී ඇතත් එම අපේක්ෂකයන්ගේ පිළිගත් දේශපාලන පක්ෂයේ ලේකම්වරුන් හෝ නාමයෝජනා කළ ඡන්ද හිමියන් 07ක්ද එලෙස ආදායම් වියදම් වාර්තා ලබාදී නොමැති බව එම කොමිසම සඳහන් කරයි.



එම ලේකම්වරුන් අතර ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ, එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය, එක්සත් ලංකා පොදුජන පක්ෂය, සමබිම පක්ෂයේ ලේකම්වරුන් සිටියි. අපේක්ෂකයා නාමයෝජනා කළ ඡන්ද හිමියන් ලෙස චන්න ලලින් වික්‍රමසිංහ, එච්.එම්. අසිත බණ්ඩාර, අර්වනා රණතුංග යන අය ඒ අතර වෙති. මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් තිස්අට දෙනෙක් තරග වැදුණි.

මෙලෙස සිය මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයන් පිළිබඳ විස්තර පොලිසියට භාර දෙන බවත් නීතිපති උපදෙස් අනුව ඔවුනට විරුද්ධව 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත ප්‍රකාරව කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා කළ විමසීමකදී සඳහන් කළේය.

රවිශාන් ප්‍රනාන්දු