beruwala-port-issue

දින කිහිපයකට ඉහත, බලය අහිමි වූ පසුගිය රජය පැවැති කාලවකවානුවේ බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මූල්‍යමය වංචාවට සම්බන්ධ කළමනාකාරවරයා ඇතුළු සේවකයන් පස්දෙනෙකු පිළිබඳ ධීවර වරාය නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලය විමර්ශන ආරම්භ කර ඇති බව බේරුවල ධීවර වරාය ආරංචි මාර්ග පවසයි. බේරුවල ධීවර වරායේ හිටපු කළමනාකරු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු එයට සම්බන්ධ වී ඇති බව බේරුවල ධීවර වරායේ ප්‍රකාශකයකු පැවැසීය.




කළමනාකරු, මුදල් අයකැමිවරුන් දෙදෙනෙකු, ඉන්ධන පිරවුම්හල් බාරකරු සහ කාර්යාල කාර්ය සහායකයෙකු වන අය, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්ථාන මාරුවීම් සිදුකර, විමර්ශන සිදු කරනු ඇතැයිද ආරංචි මාර්ග පවසයි. මෙම මූල්‍ය වංචා සිද්ධියට සම්බන්ධ සැකකාර පුද්ගලයන් පස්දෙනා, එම වරාය සතුව තිබූ රුපියල් කෝටියකයට අධික මුදලක් මේ වන විට වංචනිකව ලබාගෙන ඇති අතර, නව රජය පත්වීමත් සමග එම ධීවර වරාය වෙත පැමිණි විගණන කණ්ඩායමක් සිදු කළ ගණනයේදී, එම මූල්‍ය වංචාව පිළිබඳව වැඩිදුරටත් විගණනය වී තිබෙන බව බේරුවල ධීවර වරායේ ප්‍රකාශකයෙකු වැඩිදුරටත් පැවැසීය. එම සිද්ධියත් සමග සැකකාර පුද්ගලයන් පස්දෙනා වෙනත් වරායන් වෙත මාරු කිරීම පමණක් සිදු කර ඇති බැවින්

ඔවුන්ට කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැති බවට සෙසු සේවක පාර්ශ්ව චෝදනා කරති.


මේ පිළිබඳ පොලිස් වංචා විමර්ශන අංශයන්හි අවධානයට ලක්විය යුතු බවත්, මේ පිළිබඳව මෙතෙක් පොලීසියට පැමිණිලි නොකළේ මන්දැයි සෙසු සේවකයන් හා ධීවර ජනතාවද විමසිල්ලෙන් පසුවන බවත්, ඒ පිළිබඳව එම වරායේ ධීවර ජනතාව දැඩි අප්‍රසාදයකින් පසුවන බවත්, මෙම මූල්‍ය වංචාව පිළිබඳව කරුණු සොයා බලා නීතිමය පියවරක් නොගන්නේ නම්, ඉදිරියේදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් අරම්භ කිරීමට කටයුතු කරන බවද බේරුවල ධීවර වරායෙන් පහසුකම් ලබන ධීවර ප්‍රජාවගෙන් අනාවරණය වේ.බේරුවල ප්‍රදේශයේ බුද්ධි අංශ නිලධාන්ද මේ පිළිබඳව තොරතුරු විමර්ශනය කරන බව ආරංචි මාර්ග පවසයි.

(තුසිත කුමාර ද සිල්වා)