බීමත්ව වෙරි මරගාතේ මාර්ගය හරහා නිදා සිටි පුද්ගලයකු පාසල් ළමයින් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයකට යට වී මිය යාමෙන් පසු බස් රථය පදවා ගෙන ගිය අවුරුදු අසූ දෙකක් පමණ වයසැති රියැදුරකුට කිසියම් පිරිසක් පහර දීම හේතුවෙන් ඔහු වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇතැයි වේයන්ගොඩ පොලිසිය පවසයි.පාසල් ළමයින් පිරිසක් රැගත් බස් රථයක් නයිවල දිවුලපිටිය මාර්ගයේ පසුගිය සිකුරාදා සවස ධාවනය වෙමින් තිබියදී මාර්ගය හරහා නිදාගෙන සිටි බව

කියන පුද්ගලයකු බස් රථයට යට වී මිය යෑමෙන් පසු 82 හැවිරිදි එම රියැදුරාට ද වට කරගෙන පහරදී බස් රථයට ද හානි කර ඇතැයි වේයන්ගොඩ පොලිසිය පැවැසීය.


බස් රථයට යටවී මිය ගොස් ඇත්තේ නයිවල ප්‍රදේශයේම පදිංචිව 47 හැවිරිදි දිනේෂ් කුමාර නමැත්තෙකි.මොහු බීමත්ව බිරිඳ ඇතුළු පවුලේ අය සමග ආරවුලක් ඇති කරගෙන නයිවල දිවුලපිටිය මාර්ගයේ නිදාගෙන සිටියදී පිරිසක් ඔහු එම ස්ථානයෙන් ඉවත් කර ඇතැයි පොලිසිය පවසයි.මාර්ගයෙන් ඉවත් කළ මෙම පුද්ගලයා සුළු මොහොතකට පසු යළිත් එම ස්ථානයටම පැමිණ මාර්ගය හරහා නිදාගෙන සිටියදී පාසල් ළමයින් ප්‍රවාහනය කරන මෙම බස් රථයට යට වී මිය ගොස් ඇතැයි කියයි.


පහර කෑමට ලක් වූ වයෝවෘද්ධ රියැදුරා 1990 සුවසැරිය ගිලන් රථයකින් වතුපිටිවල

රෝහලට ඇතුළත් කරනු ලැබීය.පහර දීම නිසා ඉළ ඇටවලට හානි වී ඇති බව වෛද්‍යවරුන් පවසන්නේ යැයි පොලිසිය කියයි.මෙම රියැදුරා වසර ගණනාවක් ලංගම බස් රථ රියැදුරකු ලෙස සේවය කර විශ්‍රාම ලබා සිටි අයකු යැයි කියති.මෙම වයෝවෘද්ධ රියැදුරාට හා බස් රථයට පහරදී හානි කළ පිරිස හඳුනාගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.මෙම රියදුරා වෛද්‍ය ප්‍රතිකාර ලබා සුවවීමෙන් පසු රිය අනතුරක් කර පුද්ගලයකු මරණයට පත් කළේ යැයි කියන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)