anuradhapura-cat-incident

අනුරාධපුර නගරයේ පිහිටි විශේෂ අවශ්‍යතාවන් සහිත දරුවන් අධ්‍යාපනය ලබන පාසලක පාලිකාවක් විසින් පූසකු ළඟ තබා ගත්තැයි 15 හැවිරිදි පිරිමි දරුවකුට ලෝක ළමා දිනයේදී පහර දී තුවාල කිරීමේ‍ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පාලක මණ්ඩලයට උපදෙස් දුන් බව අනුරාධපුර කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ අශෝක පුෂ්පකුමාර මහතා ඊයේ (07) පැවසීය.




මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ පදවිය, ශ්‍රීපුර ප්‍රදේශයේ පදිංචි පහළොස් හැවිරිදි පිරිමි දරුවෙකි. පහර කෑමට ලක්ව ඇත්තේ මෙම විද්‍යාලයේ නේවාසිකව අධ්‍යාපනය ලබන පිරිමි දරුවෙකි. පසුගිය දිනක කිසියම් පුද්ගලයකු පූස් පැටවුන් දෙදෙනකු පාසලේ තාප්පය උඩින් පාසල් භුමියට දමා තිබී ඇති අතර මෙම දරුවා ඉන් එක් පූස් පැටවකු නේවාසිකාගාරයේ සිය සයනය මත තබාගෙන සිටිනු දැක කෝපවූ පාලිකාව එම දරුවාට පොල්ලකින් පහරදී ඇතැයි කියති.


එම සිද්ධිය විදුහල්පතිවරයාට අනාවරණය වීමත් සමග විදුහල්පතිවරයා සිද්ධිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් කළ විමසුමේදී කියා සිටියේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස පාලක මණ්ඩලයේ කළමනාකරුට තමන් උපදෙස් දුන් බවය.


එසේම මීට පෙරද පාලිකාවට විරුද්ධව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කලාප, පළාත් අධ්‍යාපන කාර්යාල මට්ටමින් හා හා අමාත්‍යාංශ මට්ටමින්ද පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පැවසේ.මෙම පාලිකාව නිසි අවසරයකින් තොරව නේවාසිකාගාරය තුළ සුනඛයෙකු ඇති කරන බවටත් දරුවන්ට දීමට නියමිත ආහාර සුනඛයාට දෙන බවටත් මවුපියෝ චෝදනා කරති. එසේම මෙම සුනඛයා පහර කෑමට ලක්වූ සිසුවා දෙවරක්ම සපාකන ලද බවත් මවුපියෝ පැවසූහ.
(දයාරත්න ඇබෝගම)