Lost-Mayan-city-discovered-by-accident-in-Mexican-jungle

ආදි මායන් ශිෂ්ටාචාරයේ විශාල නගරයක නටඹුන් මෙක්සිකෝවේ කැම්පේචේ ප්‍රාන්තයෙන් හමුවී තිබෙන බව අද (30) විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ. සොයාගැනීම අනුව ක්‍රිස්තු වර්ෂ 750-850 කාලයේදී මෙම නගරයේ 30,000ත් 50,000ත් අතර ජනගහනයක් ජීවත් වූ බවට සාක්ෂි ලැබී ඇත.

"වැලේරියානා" ලෙස නම් කර ඇති මෙම පුරාවිද්‍යාත්මක ස්ථානයෙන් පිරමීඩ සහිත ගොඩනැගිලි ඇතුළු පැරණි මායන් ව්‍යුහයන් 6,000කට වැඩි සංඛ්‍යාවක් සොයාගෙන තිබේ. මෙම සොයාගැනීම සිදුවූයේ ලයිඩාර් (Lidar) තාක්ෂණය භාවිතා කරමින් වනාන්තර සංරක්ෂණ ව්‍යාපෘතියක් වන අලියන්සා යටතේ සිදුකළ අධ්‍යයනයකදීය.

උතුරු ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ ලූක් ඕල්ඩ්-තෝමස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකළ මෙම පර්යේෂණයේදී, ඝන වනාන්තර ආවරණයක් යට සැඟවී තිබූ මෙම නගරය සොයාගැනීමට හැකි විය. "අපගේ විශ්ලේෂණයෙන් ඝනව ජනාවාස පිහිටා තිබූ ප්‍රදේශයක් පමණක් නොව, විවිධ වූ ජනාවාස රටාවන්ද අනාවරණය විය," යැයි ඔහු පැවසීය.



වැලේරියානා නගරය, ලතින් ඇමරිකාවේ විශාලතම මායන් පුරාවිද්‍යා ස්ථානය ලෙස සැලකෙන කලාක්මුල් වලින් පසු වැදගත්ම ස්ථානය විය හැකි බව පර්යේෂකයෝ පවසති. වර්ග කිලෝමීටරයකට ව්‍යුහයන් 55.3ක සාමාන්‍ය ඝනත්වයක් සහිත මෙම නගරයෙන් කෘෂිකාර්මික යටිතල පහසුකම් සහ ගෘහ නිර්මාණ ශිල්පීය විස්මයන්ද සොයාගෙන තිබේ.

ක්‍රිස්තු වර්ෂ 250-900 අතර කාලයේ විකසිත වූ ශාස්ත්‍රීය මායන් ශිෂ්ටාචාරය දකුණු මෙක්සිකෝව, බෙලීස්, එල් සැල්වදෝරය, ගෝතමාලාව සහ හොන්ඩුරාස් යන රටවල් පුරා පැතිර තිබිණි. මෙම සොයාගැනීම තුළින් එම ශිෂ්ටාචාරයේ විශාලත්වය සහ සංකීර්ණත්වය පිළිබඳ නව තොරතුරු එළිදරව් වී ඇත.