bribe-commision-kanishka-resigned

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ඊයේ (07) භාර දී ඇත. අධිකරණ සේවයට යළි එක්වීමට ඇති කැමැත්ත නිසා විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතාගේ පත්කිරීම නීතියට මෙන්ම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් මාධ්‍යවේදිනියක සහ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පෙත්සමක් පවරා තිබිය දී කනිෂ්ක විජේරත්න මහතා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත මෙලෙස භාර දී ඇත.




ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ කනිෂ්ක විජේරත්න මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව වාර්තා වේ.මේ අතර අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතාගේ පත් කිරීම නීතියට මෙන්ම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් මාධ්‍යවේදිනියක සහ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පවරා ඇති පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලු අවස්ථාවේ දී අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට භාර දී ඇති බව දැනුම් දුන්නේය.


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සුරසේන, ජනක් ද සිල්වා සහ කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මින්ගේ සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලු අවස්ථාවේ දී ඒ බව දැනුම් දුන්නේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජය රත්න මහතාගේ පත්වීම අවලංගු කරන්නැයි ඉල්ලා මාධ්‍යවේදී රුවිණි ෆොන්සේකා ට්‍රාස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ගොනුකර තිබූ මෙම පෙත්සම්වල වගඋත්තරකරු වශයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.


පෙත්සම් සලකා බැලූ අවස්ථාවේ දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා කරුණු දක්වමින් තම සේවාදායකයා යළි අධිකරණ සේවයට එක්වීමට කැමැත්තෙන් සිටින බැවින් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට භාර දී ඇතැයි කීය. පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පිරිස් සහ විරාන් කොරයා යන මහත්වරු කරුණු දක්වමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නීතියට මෙන්ම ව්‍යවස්ථාවට පටහැනිව පත් කිරීම හේතුවෙන් තම සේවාදායකයන්ගේ මෙන්ම රටේ සමස්ත ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි පැවසූහ.


ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් අධිකරණය පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන්නේය.පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන විරාන් කොරයා සහ සාලිය පිරිස් මහත්වරු පෙනී සිටියහ.නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා පෙනී සිටියේය.අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙනී සිටියේය.

(රන්ජන් කටුගම්පොල)