chilaw-family-murder

හලාවත, සිංහපුරයේ නිවසකදී පිලිස්සී ගොස් තිබියදී අඹුසැමි යුවළකගේ සහ ඔවුන්ගේ දියණියගේ සිරුරු පෙරේදා (20) උදෑසන සොයා ගත් අතර මේ සම්බන්ධයෙන් සැලකරන ලද විධිමත් සහ දීර්ඝ පරීක්ෂණවලදී සැමියා විසින් බිරිද සහ සිය දියණිය ඝාතනය කර ඔහුද ගිනි තබාගෙන සියදිවි නසාගෙන ඇති බව තහවුරු වී ඇතැයි හලාවත මූලස්ථාන පොලිසිය සදහන් කරයි.




පෞද්ගලික පන්තියකට සහභාගීවීම සඳහා දියණිය පසුගිය සෙනසුරාදා නිවසින් පිටත්ව ගිය පසු සැමියා විසින් බිරිඳගේ ගෙල සිරුරෙන් වෙන් වන ලෙස කපා දමා පසුව නිවසට පැමිණි දියණියගේද ගෙල කපා ඝාතනය කර ඇති බව විමර්ශන වලින් හෙළි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප'යට පැවසීය.උපකාරක පංතියකට ගොස් සිටි නෙත්මි නිමේෂා සේනාරත්න දියණිය යතුරුපැදියේ නංවාගෙන නිවසට කැඳවාගෙන ඇවිත් පසුව ඇයද ගෙල කපා ඝාතනය කර සාලය මැද දර ගොඩ ගසා දර සෑයක් සාදා ගෙන දියණියගේ සිරුර ඒ මත තබා පියාද එම දර සෑය මත වාඩි වී භූමිතෙල් හලා එම දර සෑයට ගිනි තබාගෙන සිය දිවි නසාගෙන ඇති බව පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙන බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.


ඝාතනය කෙරුණු බිරිඳ වන මංජුලා නිරෝෂනී බණ්ඩාර මහත්මියට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා අක්කර තුනක පමණ පොල් ඉඩමක් තිබෙන අතර එය විකුණා මුදල් ලබා ගනිමු යැයි කරන ලද යෝජනාව ඇය තරයේම ප්‍රතික්ෂේප කිරීම නිසා මෙවැන්නක් සිදුකර ඇති බව පරීක්ෂණ වලින් හෙළි වූ බවද පොලිසිය සඳහන් කරයි.




බිරිඳ සහ සිය දියණිය ඝාතනය කර ගිනි තබාගෙන සිය දිවි නසා ගත්තේ යැයි කියන සමීන්ද්‍රලා ගෙදර සේනාරත්න (51) නැමැත්තා ඉඩම් මිලදී ගෙන ඒවා කට්ටිකර විකිණීමේ ව්‍යාපාරයක් කලක සිට කරගෙන ගොස් ඇති අතර එම ව්‍යාපාරික කටයුතු මෑතක සිට පාඩු පිට පවත්වාගෙන ගොස් ඇති බවද පොලිසියට තොරතුරු ලැබී ඇතැයි කියති. රුපියල් ලක්ෂ ගණනින් ණය වී තිබූ බව කියන නිසා එම ණය බරින් නිදහස් වීම සඳහා බිරිඳට අයත් පොල්වත්ත විකිණීමට යෝජනා කර ඇතැයි ද පොලිසිය කියයි.


මීට එකහෙළාම අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා බිරිඳ සහ සිය දියණිය ද ඝාතනය කර මොහු දිවි නසාගෙන තිබෙන බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය පැවසීය.ඝාතනය කෙරුණු 15 හැවිරිදි දැරියගේ සම වයසේ පසු වන පාසල් මිතුරියකගේ සහ එම පාසල් මිතුරියගේ මවක විසින් හෙළි කරන ලද තොරතුරු අනුව මෙම සිද්ධියට අදාළව අදාළව බොහොමයක් තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී ඇත.


හලාවත කොට්ඨාස බාර පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතා විසින් මෙම සිදුවීමට අදාළව විමර්ශන පැවැත්වීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් පත්කර එම විමර්ශන ඔහුගේ උපදෙස් සහ මෙහෙයුම යටතේ ක්‍රියාත්මක කරනු ලැබීය.මෙසේ පත් කරන ලද එම විශේෂ පොලිස් කණ්ඩායම් අතරින් එක් කණ්ඩායමකට නායකත්වය දෙනු ලැබුවේ මාදම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතා විසිනි.


ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ඒකනායක මහතාට පොලිස් අධිකාරි අමරතුංග මහතා විසින් පවරනු ලැබ තිබුණේ පිලිස්සීමෙන් මිය ගොස් තිබූ අඹුසැමි යුවළගේ සහ දියණියගේ තොරතුරු සොයා බැලීමටය.පසුගිය සෙනසුරාදා උදෑසන හලාවත ප්‍රදේශයේ පැවැත්වෙන උපකාරක පන්තියකට සහභාගී කිරීම සඳහා සිය දියණිය යතුරුපැදියේ නංවාගෙන සිංහපුර පිහිටි නිවසේ සිට යන අතරවාරයේ දැරියගේ මිතුරියකද උපකාරක පන්තියට යතුරුපැදියේ නංවාගෙන කැඳවාගෙන ගොස් ඇත.


සෙනසුරාදා උදෑසන හයේ සිට පැය දෙකක පමණ කාලයක් එම උපකාරක පන්තිය පවත්වා ඇති අතර සේනාරත්න නමැත්තා එම පංතිය අසලට ගොස් යතුරුපැදියේ නංවාගෙන සිය දියණියව සිංහපුර නිවසට කැඳවාගෙන පැමිණ ඇත.මව අසනීපයෙන් පසුවන නිසා ඇය කාමරයේ දොර ද වසාගෙන නිදාගෙන සිටින බව සේනාරත්න නැමැත්තා සිය දියණියට පවසා ඇතැයි ද කියති. හලාවත ප්‍රදේශයේ නිවසක පැවැත්වෙන තවත් උපකාරක පංතියකට සිය දියණිය යතුරුපැදියේ නංවාගෙන සේනාරත්න නමැත්තා කැඳවාගෙන ගොස් ඔහු පමණක් ආපසු නිවසට පැමිණ ඇත. මෙම දැරිය ඇයගේ මිතුරියන් දෙදෙනෙකු සහ මිතුරෙකු සමග එම උපකාරක පන්තිය අවසන් වී නිවසට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ ඇයත් සමග පැමිණි දරුවකු සේනාරත්න නමැත්තාගේ අතේ සිදුව තිබූ තුවාලයකට වෙළුම් පටි දමාගෙන තිබෙන අයුරු දැක ඒ බව ඔහුගෙන් විමසා ඇත. ඇන්ටිට අසනීප නිසා මාළු කැපීමට ගොස් අත තුවාල වූ බව සේනාරත්න නමැත්තා එම දරුවා සමග පවසා තිබෙන බවද කියති.




සේනාරත්න නමැත්තාගෙන් අත තුවාල වූයේ ඇයිදැයි විමසූ දරුවා පසුව සොයාගෙන එම දරුවාගෙන් තොරතුරු විමසා ප්‍රකාශයක් ලබාගත් අවස්ථාවේ ඔහු මේ තොරතුරු හෙළි කළේ යැයි පොලිසිය කියයි. නෙත්මි දැරිය ඇයගේ මිතුරියකගේ නිවසේ පැවැත්වෙන තවත් උපකාරක පන්තියකට සහභාගි වී එදින සවස ගොස් ඇත.සිය දියණියගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාදී ඇයගේ මිතුරියගේ මවට කතා කර බිරිඳ රෝගාතුරව සිටින නිසා ඇය රෝහල් ගත කිරීමට අවශ්‍ය නිසා පන්තිය අවසන් වී නැවත කැඳවාගෙන යෑමට එන තෙක් රැක බලාගන්නා ලෙස දැනුම් දීමක්ද කර ඇතැයි කියති.


මෙම දැරිය ද සිය මව අසනීප වී නිවසේ කාමරයක නිදාගෙන සිටින බව සිය මිතුරියට සහ එම මිතුරාගේ මව සමග ද පවසා ඇතැයි පොලිසිය කියයි.උපකාරක පංතිය අවසන් වීමෙන් පසු ඇය එම නිවසේ ඇයගේ යෙහෙළියන් සමග කෙළි දෙළෙන් ගත කර ඇති අතර පසුව පියා පැමිණ නෙත්මිව යතුරුපැදියේ නංවාගෙන කැඳවාගෙන ගොස් ඇත.උපකාරක පංතිය පැවැත් වූ නිවසේ අය මේ තොරතුරු පොලිස් නිලධාරීන් සමග පවසා තිබේ.


 අඹුසැමි යුවළ සහ ඔවුන්ගේ එකම දරුවා වන නෙත්මි දියණිය පදිංචිව සිටියේ හලාවත සිංහපුර එක් මහලකින්ද සමන්විත නිවසකය.මෙම නිවසේ දොරවල් සහ ජනෙල් ඇතුළතින් දොරගුළු දමා වසා දමා තිබීම මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිස් කණ්ඩායම්වලට මුල සිටම තදබල සැකයක් මතු වී තිබී ඇත.ඒ අනුව පොලිසිය මුල සිටම සැකකර ඇත්තේ පිටස්තරින් කිසිවෙකු ඇතුළු වී මොවුන් තිදෙනා ඝාතනය කර නොමැති බව යැයි පොලිසිය සඳහන් කරයි.


බිරිඳ අසනීප වී රෝහල් ගත කර තිබූ බවට පවසා තිබූ නිසා ඒ බව තහවුරු කර ගැනීමට ද හලාවත රෝහලට ගොස් කරන පරීක්ෂණවලදී රෝහල් ගත කර නොතිබූ බව පොලිසියට අනාවරණය වී ඇත.දස අතේ රුපියල් ලක්ෂ ගණනින් ණය වී සිට ඇතැයි කියන මෙම පුද්ගලයා ඔහු විසින් මිලදී ගෙන කට්ටි කරන ලද එකම ඉඩම් කොටස දෙතුන් දෙනෙකුට අලෙවි කර මුදල් ලබා ගෙන ඇති බවද නිල නොවන ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.


නිවසේ තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා රන් භාණ්ඩද මීට දින කිහිපයකට පෙර අතුරුදන්ව ඇති අතර එම රන් භාණ්ඩ සේනාරත්න නමැත්තා විසින් සොරාගෙන ගොස් කිසියම් ස්ථානයකට උකස් කර මුදල් ලබාගන්නට ඇතැයි පැවසේ.මෙම සිද්ධිය වීමට දින කිහිපයකට පෙර මොහු හලාවත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයකට ගොස් රුපියල් ලක්ෂයක මුදලක් තැන්පත් කර තිබෙන බවද තතු දත් ආරංචි මාර්ගවලින් දැනගැනීමට තිබේ.




පොලිසිය පවසන ආකාරයට සේනාරත්න නමැත්තා අසල්වාසීන් සමග වැඩි කතාබහක් නොමැතිව ජීවත් වී ඇති බව කියන ගුප්ත චරිතයකි.සේනාරත්න නමැත්තාගේ උපන් ගම නිකවැරටිය ප්‍රදේශය වන අතර බිරිඳ හලාවත ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.ඇය හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස රාජකාරී කළ උපාධිධාරිනියකි.මෙම අඹුසැමි යුවළට සිටි එකම දරුවා නෙත්මිය. නෙත්මි දැරිය හලාවත ආනන්ද ජාතික පාසලේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම ලබමින් සිටි සිසුවියකි.ඝාතනය කෙරුණු මංජුලා මහත්මියගේ ගෙල සිරුරෙන් වෙන් වන ආකාරයට කපා දමා තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත.


නෙත්මි දැරියගේ ගෙලද කපා දමා ඇති බවත් මෙම පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇත. මෙම දැරියගේ ගෙලද සිරුරෙන් වෙන්ව යෑමට ඔන්න මෙන්නව තිබිණි යැයි පොලිසිය කීය.හලාවත මූලික මහ රෝහලේදී ඊයේ මෙම මවගේ සහ දියණියගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර තිබුණේ එම රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය වයි.එම්.ඩී. ඉලංගරත්න බණ්ඩා මහතා විසිනි.


සේනාරත්න නමැත්තාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වනු ලැබූ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ඉලංගරත්න බණ්ඩා මහතා මෙම මරණයට හේතු දැක්වීම පසුවට කල් තබා විවෘත තීන්දුවක් ලබා දුන් බව පොලිසිය කියයි.සේනාරත්න නමැත්තාගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් වෙත යැවීම සඳහා ලබාගෙන තිබෙන බවද පොලිසිය කීය.රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විශේෂඥයින්ගේ එම වාර්තා ලැබීමෙන් පසු සේනාරත්න නමැත්තාගේ මරණයට හේතු දක්වන බව මෙහිදී විශේෂඥ වෛද්‍යවරයා පැවසූ බවද පොලිසිය පැවසීය.


වයඹ පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ සහ පුත්තලම දිසා බාර නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතාගේ පූර්ණ අධික්ෂණය යටතේ හලාවත කොට්ඨාසය භාර පොලිස් අධිකාරී පාලිත අමරතුංග මහතාගේ විශේෂ උපදෙස් සහ මෙහෙයවීම යටතේ හලාවත මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුක්ෂාන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇත.


මාදම්පේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ඒකනායක, තොඩුවාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රණවීර, දංකොටුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංජුල, හලාවත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්සිරි සහ හලාවත මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුණ ශාන්ත යන මහත්වරුන්ද හවුල් වී ඇත.


හලාවත වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් සසිකද සිල්වා මහතා පෙරේදා අපරාධය සිදුවූ නිවසට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබීය.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගිනි නිවීම් සම්බන්ධව විමර්ශනය කරන විශේෂඥ එන්. ජේ.කේ. ප්‍රනාන්දු සහ එහි රුධිර සාම්පල පිළිබඳ විශේෂඥ ඊ. මාරපන යන මහත්ම මහත්මීහු ද පෙරේදා එම අපරාධය සිදුවූ ස්ථානයට පැමිණ පුළුල් හා සියුම් විමර්ශනයක් පවත්වනු ලැබූහ.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)