chilaw-incident

 එක්සත් ජාතීන්ගේ සංවි­ධා­නයේ යාන්ත්‍රික ඉංජි­නේ­රු­ව­ර­යකු ලෙස සහ ලෝක බැංකුවේ මෙරට ශාඛාවේ තාක්ෂ­ණික ඉංජි­නේ­රු­ව­ර­යකු ලෙස කට­යුතු කර ඇති වී.ආර්. සමන් විජේ­සිරි මහතා ඝාත­නය කර ඔහු සතු කෝටි ගණ­නක දේපොළ හා වත්කම් ව්‍යාජ ඇටෝනි බල­ප­ත්‍ර­යක් මඟින් නීති විරෝධී ලෙස පව­රා­ගෙන එම දේපොළ භුක්ති විඳීම හා විකි­ණීම සම්බ­න්ධ­යෙන් ව්‍යාපා­රි­ක­යෙක් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නීති විරෝධී වත්කම් විම­ර්ශන කොට්ඨා­සය මඟින් පෙරේදා (07) අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

හලා­වත අලු­ත්වත්තේ පදිංචි රුවන් චන්දන නමැති 51 හැවි­රිදි ව්‍යාපා­රි­කයා මෙසේ අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය. බිංගි­රිය, බෝවත්ත, වීර­පැල ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි මෙම ඉංජි­නේ­රු­ව­රයා ඝාත­නය කර ඇත්තේ 2018 වසරේ ඔක්තෝ­බර් 13 වැනි­දාය. ඔහුව මරා දමා සිරුර හලා­වත කල­පුවේ ගිල්වා සඟවා තිබී ඇත.



මේ ගැන අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව 2020 වස­රේදී විම­ර්ශ­න­යක් පවත්වා සැක­ක­රු­වන් රැසක් අත්අ­ඩං­ගු­වට ගත්තේය. එම සැක­ක­රු­වන් අතර නීති විරෝධී වත්කම් විම­ර්ශන කොට්ඨා­සය මඟින් පෙරේදා (07) අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු ද සිටි­යේය.

ඉංජි­නේ­රු­ව­රයා සතුව ඇති රුපි­යල් කෝටි 50කට අධික දේපොළ අත්පත් කර ගැනීම සඳහා ඔහු විදේ­ශ­යක සිට මෙර­ටට පැමිණි විට ඝාත­නය කර ඇත. නැවත 2019 වසරේ මැයි 28 වැනිදා මෙම ඉංජි­නේ­රු­ව­රයා රටින් පිටව ගොස් ඇති බවට ආග­මන විග­මන දෙපා­ර්ත­මේ­න්තුවේ දත්ත පවා වෙනස් කිරී­මට ඝාත­ක­යන් කට­යුතු කර ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් එකල හෙළි කර­ගෙන තිබිණි. ඒ සඳහා ඔවුන්ට සහාය වී ඇත්තේ දූෂිත ආග­මන විග­මන නිල­ධා­රි­යකු බව ද අනා­ව­ර­ණය වී තිබිණි.

ඉංජි­නේ­රු­ව­රයා මරා කල­පුවේ සිරුර සැඟවූ බව කියන සැක­ක­රු­වන් කළ ප්‍රකාශ හා තොර­තුරු මත අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව කල­පුව පීරා සෝදිසි කළ ද සිරුර හමුවී නොති­බිණි. ඒ තත්ත්වය මත සැක­ක­රු­වන් කාල­යක් බන්ධ­නා­ගා­ර­ග­තව සිට ඇප මත නිද­හස් විය.

ඒ වන විට මෙම ඉංජි­නේ­රු­ව­ර­යාගේ දේපොළ ඝාතන සැක­ක­රු­වන් විසින් ඇටෝනි බල­ප­ත්‍ර­යක් මඟින් භුක්ති විඳි­මින් සිට ඇති බවත් ඒ සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂණ නීති විරෝධී වත්කම් විම­ර්ශන කොට්ඨා­සය මඟින් ආරම්භ කර­මින් 2023 වස­රේදී රුපි­යල් කෝටි 20ක පමණ දේපොළ තහ­නම් කිරී­මට කට­යුතු කර ඇති බවත් උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය. එම දේපො­ළ­ව­ලින් බොහො­ම­යක්ම තිබී ඇත්තේ හලා­වත ප්‍රදේ­ශය ආශ්‍රි­ත­වය.



දීර්ඝ විම­ර්ශ­න­ය­කින් අන­තු­රුව අනා­ව­ර­ණය වී ඇත්තේ ඇටෝනි බල­ප­ත්‍රය ව්‍යාජ ලෙස සකස් කර නීති විරෝධී ලෙස ඉංජි­නේ­රු­ව­ර­යාගේ දේපොළ හා වත්කම් පව­රා­ගෙන ඇති බවය. ඒ අනුව එම දේපොළ අත්පත් කර­ගෙන විකි­ණී­මට ක්‍රියා කළ සැක­ක­රු­වකු අත්අ­ඩං­ගු­වට ගත් බව නීති විරෝධී වත්කම් විම­ර්ශන කොට්ඨා­සය සඳ­හන් කරයි.
(ගයාන් කුමාර වීර­සිංහ)