coconut-rice-eggs

මේ වන විට ඇතැම් ප්‍රදේශවල පොල් , නාඩු හා සම්බා සහල් හිඟයක් සහ බිත්තර හිඟයක්ද ඇති වී තිබේ.පොල් ගෙඩියක මිල ඇතැම් ප්‍රදේශවල රුපියල් 160ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර, මෙම මිලටවත් සමහර ප්‍රදේශවල පොල් මිලදී ගැනීමට නොමැති බව ජනතාව සඳහන් කරති.පසුගිය දිනවල ඇති වූ වැසි තත්ත්වයත් සමග වෙළෙඳ පොළට පොල් තොග පැමිණීම අඩු වීම නිසා, පොල් හිඟයක් ඇති වීමට ප්‍රධාන හේතුවක් බව ව්‍යාපාරිකයෝ සඳහන් කරති.පොදුවේ සැලකීමේදී දෛනිකව අවශ්‍ය වන පොල් තොග වෙළෙඳ පොළට නොලැබෙන බවත්, මේ නිසා පොල් මිලදී ගැනීමට තරගයක් නිර්මාණය වීම නිසා පොල් මිල ඉහළ ගොස් තිබෙන බවද ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.




පසුගිය කාලයේදි කීරි සම්බා සහල් හිඟයක් පැවැති අතර, මේ අනුව කීරි සම්බා සහල් කිලෝවක මිල රුපියල් තුන්සිය හැටක් වැනි ඉහළ මිලකට අලෙවි කරනු ලැබිණි.එහෙත් මේ වන විට කීර් සම්බා සහල් වෙළෙඳ පොළ තුළ පවතින අතර, එම වර්ගයේ සහල් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 260කට වන අතර, එය රජය විසින් නියම කරන ලද පාලන මිලද වේ.


දෛනික සහල් අවශ්‍යතාවය සැලකූ විට කීරි සම්බා සහ සම්බා සහල් සඳහා පවතින්නේ 20%-25%ත් අතර ඉල්ලුමක් වන අතර, නාඩු සහල් අවශ්‍යතාව 60%- 65%ත් අතර ප්‍රමාණයක් වේ. ඉතිරි සහල් අවශ්‍යතාවය සුදු කැකුළු රතු කැකුළු වැනි සහල්වලින් සම්පූර්ණ කර ගනු ලබයි.මේ වන විට වී තොග වෙළෙඳ පොළට පැමිණීම අඩු වී තිබෙන බවත්,

මේ නිසා කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් විසින් වෙළෙඳ පොළට නිකුත් කරන සහල් තොග ප්‍රමාණය අඩු වී තිබෙන බවද කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් සඳහන් කරති.විශාල වී තොග පවතින්නේ මහා පරිමාණ මෝල් හිමියන් සතුව බවත්, ඔවුන් විසින් සම්බා හා නාඩු සහල් හිඟයක් කෘත්‍රිමව ඇති කරමින් තිබෙන බවද එම පිරිස් පෙන්වා දෙති.පසුගිය කාලයේදී කරි සම්බා සහල් හිඟයක් ඇති කර වැඩි මිලට කීරි සම්බා අලෙවි කළ බවත්, ඉදිරියේදී නාඩු හා සම්බා මිල විශාල ලෙස ඉහළ යා හැකි බවද සඳහන් කරති.


සෑම වසරකම ඔක්තෝබර් මාසයේ සිට ජනවාරි මාසය දක්වා සහල් හිඟ ඇති වී සහල් මිල ඉහළ යාම සිදුවෙමින් තිබෙන බවත්,

කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ශක්තිමත් කිරීමට රජය කටයුතු කළහොත් මෙම තත්වය පාලනය කර ගත හැකි බවද එම පිස් පෙන්වා දෙති.සති 2කට පෙර රු.25-30 මට්ටමේ පැවති බිත්තර මිල මේ වන විට රු.45 -50 මට්ටම දක්වා ඉහළ ගොස් ඇති අතරම ඇතැම්පෙදෙස්වල බිත්තර හිඟයක් ඇති බවද වාර්තා වේ.එළඹෙන නත්තල් සමය වෙනුවෙන් මහා පරිමාණ බිත්තර ව්‍යාපාරිකයන් විසින් ශීතාගාර තුළ බහා බිත්තර සැඟවීම නිසා මෙම තත්ත්වය ඇතිවී තිබෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධාන පවසා සිටී.
(ඉන්දික හේවාතාරණ)