cyber-crime-bank

යුක්‍රේන, ඉන්දීය සහ බල්ගේරියන් සයිබර් අපරාධකරුවන් රටට ඇතුළු වී කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධතිය කඩා වැටී ජාතික ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල විය හැකි බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට ඊයේ (30දා) දැනුම් දුන්නේය.

අන්තර්ජාලය හරහා සිදුවන වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධතිය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටීමට හැකියාව ඇති හෙයින් එම සයිබර් අපරාධකරුවන්ගේ ජාලය පිළිබඳව විශේෂ විමර්ශනයක් කරන බව දැනුම් දුන් රහස් පොලිසියේ අන්තර්ජාල ආවේක්ෂණ විශේෂ බුද්ධි ඒකකයේ නිලධාර්න් මෙම අපරාධයට සම්බන්ධ සයිබර් අපරාධකරුවන් බව කියමින් අධිකරණයට ඉදිරිපත් කළ යුක්‍රේන ජාතික තරුණයන් දෙදෙනෙකු රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.



මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක සංවත්සරය වෙනුවෙන් ත්‍යාග ලබාදෙන බවට සහ ඔන්ලයින් ආදායම් මාර්ග හඳුන්වා දෙන බවට 'ෆේස්බුක්' සහ 'ටෙලිග්‍රෑම්’ ඔස්සේ දැන්වීම් ප්‍රචාරය කර රුපියල් ලක්‍ෂ 36කට අධික මුදලක් වංචා කළැයි කියන හරුනො‍ෙව් නිකිතා සහ සෙවෙට්ස් ලිබොමීර් නැමැති යුක්‍රේන ජාතික තරුණයන් දෙදෙනෙකි.

සයිබර් අපරාධකරුවන් බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් යුක්‍රේන ජාතික තරුණයින් දෙදෙනෙක් අධිකරණයට ඉදිරිපත් කරමින් සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිසියේ අන්තර්ජාල ආවේක්ෂණ විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරීන් සැකකරුවන් අන්තර්ජාලය හරහා බරපතළ ගනයේ අපරාධයක් කර ඇතැයි කීය.

පසුගිය 22 දින ලංකාවට පැමිණ ඇති සැකකරුවන් මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක සංවත්සරය වෙනුවෙන් ත්‍යාග ලබාදෙන බවට සහ ඔන්ලයින් ආදායම් මාර්ග හඳුන්වා දෙන බවට ‘ෆේස්බුක්' සහ 'ටෙලිග්‍රෑම්’ ඔස්සේ දැන්වීම් ප්‍රචාරය කර රුපියල් ලක්‍ෂ 36කට අධික මුදලක් වංචා කර ඇතැයිද එම දැන්වීම නරඹා සිය පුද්ගලික තොරතුරු මුදාහළ පුද්ගලයන්ගේ බැංකු ගිණුම් මගින් සැකකරුවන් මෙම වංචා කර ඇතැයිද දැනුම් දුන් රහස් පොලිසිය කඩවත ප්‍රදේශයේ කාන්තාවකගේ සහ බේරුවල ප්‍රදේශයේ තරුණයකුගේ බැංකු ගිණුම් වලින් මෙලෙස මුදල් වංචා කර ඇතැයිද දැනුම් දුන්නේය.



සැකකරුවන් මෙරටට පැමිණීමට පෙර මෙරට බැංකු පද්ධතිය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ පූර්ණ අධීක්ෂණයක් කර ඇතැයිද, අදාළ ජාවාරම උණවටුන ප්‍රදේශයේ සිට කර ඇති බව මෙතෙක් කළ විමර්ශනවලින් අනාවරණය වී ඇතැයිද, සඳහන් කළ රහස් පොලිසිය කඩවත සහ බේරුවල ප්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් වංචනිකව ලබාගත් මුදල් සැකකරුවන් 'බයිනෑන්ස්' හා 'යු.එස්.ඩි.ටී.' වොලට්වල තැන්පත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි සඳහන් කළේය.


සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මිගාර ගුණරත්න මහතා කරුණු දක්වමින් සැකකරුවන් මෙම ජාවාරමට කිසිඳු සම්බන්ධයක් නැතැයි පැවසීය. රහස් පොලිසිය සඳහන් කරන ‘ටෙලිග්‍රෑම්' නමැති අන්තර්ජාල සමූහයේ "අයිටැම්” නමින් පෙනී සිටින පුද්ගලයා උණවටුනට පැමිණ තම සේවාදායකයන්ට කතා කර ඔහු ළඟ ඇති ශ්‍රී ලංකා රුපියල් 'යූ.එස්.ඩි.ටී.’ සහ 'බයිනෑන්ස්’ මුදල් බවට පරිවර්තනය කර දෙන්නැයි ඉල්ලා ඇතැයි කී නීතිඥ මිගාර ගුණරත්න මහතා ශ්‍රී ලංකා රුපියල්'යූ.එස්.ඩි.ටී.' සහ 'බයිනෑන්ස්’ මුදල් බවට පරිවර්තනය කර දෙන්නේ නම් සියයට විස්සක කොටසක් තම සේවාදායකයන්ට දීමට පොරොන්දු වී ඇතැයිද කීය.



ඒ අනුව තම සේවාදායකයන් ගාල්ලට ගොස් ශ්‍රී ලංකා රුපිංල් 'යූ.එස්.ඩි.ටී. සහ 'බයිනෑන්ස්’ මුදල් බවට පරිවර්තනය කරදී තමන්ගේ සියයට විස්සක කොටස ලබාගෙන ඇතැයිද, තම සේවාදායකයන් වයස අවුරුදු 18 හා 19 පසුවන සංචාරක තරුණයන් යැයිද කී නීතිඥ මිගාර ගුණරත්න මහතා ඔවුන් වංචා කළැයි කියන සියලු මුදල් ලබාදී හෝ සිය රටට යෑමට කැමති හෙයින් ඔවුන් සුදුසු ඇපයක් මත මුදා හරින්නැයි ඉල්ලා සිටියේය. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට දැනුම් දෙන ලෙස නියම කළේය.
(බුද්ධිමාල් රුබේරු)