dehiwala-choon-paan

දෙහිවල වෛද්‍ය පාරේ දීපානන්ද මාවතේ ගමන්ගත් 60 හැවිරිදි කාන්තාවකගේ පිටුපසින් පැමිණ ඇගේ තැල්ල සහිත රන්මාලය කොල්ලකා පලාගොස් සැඟව සිටි චූන්පාන් ත්‍රිරෝද රථකරුවකු ඉකුත් 13 වැනිදා අත්අඩංගුවට ගත්බව දෙහිවල පොලීසිය පැවසීය.

සැකකරු පිටු පසින් පැමිණ කාන්තාව සමග පොරබදා ඇය බිම හෙලා රන්මාලය කඩාගෙන එම චූන්පාන් ත්‍රිරෝද රථයෙන්ම පළායන ආකාරය අසල ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබුණු බවද පොලිසිය පැවසීය.

ඒ අනුව දෙහිවල පොලිස් අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වා කොල්ලකෑමට පැමිණි ත්‍රිරෝද රථය රත්මලාන ප්‍රදේශයේ බේකරියක තිබියදී පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු බඩෝවිට ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 13,470 ක්ද සමග අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිට ඇති අයකු බවත් හෙතෙම මීට පෙරද ගාල්ල, යක්කලමුල්ල, අකුරැස්ස සහ පිළියන්දල පොලිස් වසම්වල මංකොල්ල කෑම්ද ඇතුළු අපරාධ ගණනාවකට වරෙන්තු ලබා ඇති අයකු බවත් පොලීසිය පැවසීය.




සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කොල්ලකන ලද බව කියන රුපියල් ලක්ෂ එකහමාරකට අධික වටිනාකමින් යුත් තැල්ල හා රන්මාලය හොරණ සහ මොරටුව ප්‍රදේශවලට උකස්කර තිබියදී සොයාගත් බවද පොලිසිය පවසයි.මංකොල්ලය සඳහා පැමිණි චූන්පාන් අලෙවි ත්‍රිරෝද රථයේ රියැදුරුගේ අනන්‍යතාව ද හෙළිකරගෙන ඇති අතර මොවුන් දෙදෙනාම එක්ව මෙලෙස මංකොල්ලකෑම්හි නිරත වන්නට ඇතැයිද පොලීසිය සැකකරයි.
(එච්.එම්. ධර්මපාල)