ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධම්මික පෙරේරා දේශපාලන කටයුතුවලින් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට තීරණය කර තිබෙයි.
ඔහු පාර්ලිමේන්තුවට ගෙන එන්නේ බැසිල් මහින්ද ප්රමුඛ කන්ඩායමේ අවශ්‍යතාවයක් ලෙසිනි. ආ විගස අමාත්‍ය තනතුරකටද පත්වන ඔහු රනිල් වික්‍රමසිංහ අගමැති ධූරය දරන සමයේ යම් යම් මතභේදාත්මක කථාබස් නිසා ගැටලු ඇති කරගත්තේය. පසුව රනිල් ජනපති පදවියට පත්වූ පසු ඔහුට ඇමති ධූරයක් නොලැබිණි.
පසුගිය ජනපතිවරණයට පොහොට්ටු අපේක්ෂක ලෙස ඉදිරිපත් කරන්නට ඔහු සූදානම් කර තිබූ නමුත් පොහොට්ටුවේ විශාල පිරිසක් වෙනත් අපේක්ෂකයින් වෙත යාම හා ඒ වනවිට තිබූ අපකීර්තිමත් වාතාවරණය නිසා ඔහු තරග නොවදින බව ප්‍රකාශ කළේ නාමල්ට තරග වදින්නට අවස්ථාව සලසමිනි.
දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට ගත් තීරණය පිළිබඳව පසුගිය දින කිහිපය ධම්මික පෙරේරා ඔහුගේ හිතවතුන් සමඟ සාකච්ඡා කර තිබූ අතර ඔහු ඊළඟ මහමැතිවරණය සඳහා ඉදිරිපත් නොවීමටද තීරණය කර ඇති බව වාර්තා විය.
සමුගැනීමේ තීරණය තහවුරු කර තිබෙන බව පෙනී යන්නේ ඔහුට අයත්ව තිබූ සමාගම් අධ්යක්ෂ ධූරවලට ඔහු නැවත පත්වූ නිසාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත්වීමට පෙර ඔහු තමාට අයත්ව තිබූ සමාගම් හිමිකාරත්වය තම දියණියට හෝ බිරියට පවරා ඇති නමුත් දැන් එලෙස පැවරූ සමාගම් බොහොමයක් ඉවත් කරමින් තමන් අතට ලබාගෙන තිබේ.
දිවයිනේ ප්රමුඛ ව්‍යවසායකයෙකු වන ධම්මික පෙරේරා හේලීස්,වැලිබල්,ලංකා ටයිල්ස්, සම්පත් බැංකුව, සිංගර් ඇතුළු සමාගම් ගණනාවකම වැඩි කොටස්හිමි අයෙකි.
0 Comments