diana-speaks

හොරු අල්ලන්න ආපු අනුර කුමාර දිසානායකට තමා කැමැතියැයි හිටපු රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ මහත්මිය පැවැසුවාය.අනුර දිසානායක ළඟ ජනතා වශීයක් තිබෙන බවත් මහින්දගේ වශී බෝලෙට වඩා අනුරගේ වශී බෝලය බලවත් බවත් ඇය ප්‍රකාශ කළාය. ගමගේ මහත්මිය මෙසේ පැවැසුවේ කොළඹදී පෙරේදා (6) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය. 






ඩයනා ගමගේ මහත්මිය මෙසේ ද කීවාය.

"මගේ ජීවිතේ මට තියෙන්නේ එක චෝදනාවයි. ඒ පුරවැසිභාවය සම්බන්ධ කාරණය. ඒක උඩ යට පෙරළමින් විවිධ අය දේශපාලන වාසි තකා විවිධ විදිහට මට නඩු ගොනු කරනවා. මම කිසිම දිනක ජනතා මුදල් කොල්ල කාලා නෑ. තනතුරේ ඉන්නකම් ජනතාව වෙනුවෙන් සීමාවක් නැතිව කැප වුණා.




මට හිතාගන්නවත් බෑ සමහර සර්පයන් ඉඳලා තියෙන්නේ මගේ ළඟමයි. දෂ්ට කරනකම් මම දැනගෙන හිටියේ නැහැ. ළඟ හිටියේ විසකුරු සර්පයන් කියලා. එහෙම තමයි මේ සංසාර ගමනේ හැටි.මයික් පැලෙන කතා කියලා බලයට ආවා වගේ නෙමෙයි ජනතා අභිලාෂයන් ජනතා සිත් සතුටු වෙන අයුරින් ඉෂ්ට කිරීම හරිම අමාරු කාර්යයක්. කොහොම වුණත් ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයාට මම සුබ පතනවා. මෙතුමාට රට නිවැරැදි දිශාවකට යොමු කිරීමට පුළුවන් වේවා කියලා හිතනවා. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහෝදරිය ගැනත් මගේ හිතේ තියෙන්නේ ධනාත්මක සිතිවිල්ලක්. ඇයටත් මාගේ ගෞරවනීය සුබ පැතුම්."

(සුජිත් හේවාජුලිගේ)